ඇමරිකා එක්සත් ජනපදයේ වෙසෙන බෞද්ධ ජනතාවට අතිශය විරල ආගමික අත්දැකීමක් උදා කරමින්, ශ්‍රී ලංකාවේ සිට වැඩම කරවන ලද ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ සහ ඓතිහාසික ජය ශ්‍රී මහා බෝධි අංකුරය වන්දනාමාන කිරීමේ පින්කමක් ටෙක්සාස්හිදී ආරම්භ වී තිබේ.
පසුගිය මැයි 02 වන දින ටෙක්සාස්හි පිහිටි මහා විපස්සනා භාවනා මධ්‍යස්ථානයේදී ආරම්භ වූ මෙම පූජනීය වැඩසටහන, විදේශගතව වෙසෙන බැතිමතුන්ගේ ආගමික වතාවත් උදෙසා සංවිධානය කර ඇත. මව්බිමෙන් බැහැරව වෙසෙන ශ්‍රී ලාංකිකයන්ට මෙන්ම අනෙකුත් බෞද්ධ ජනතාවට ද මෙය සුවිශේෂී ආගමික මංගල්‍යයක් බවට පත්ව තිබේ.
මෙම ධාතු ප්‍රදර්ශනය සඳහා ශ්‍රී ලාංකිකයන්ට අමතරව වියට්නාම් ජාතික බැතිමතුන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වෙමින් සිටිති. තම ජීවිත කාලය තුළ මව්බිමේදී පවා දැකගැනීමට අපහසු මෙවන් උත්තරීතර ආගමික වස්තූන් විදෙස් රටකදී වැඳපුදා ගැනීමට ලැබීම භාග්‍යයක් කොට සලකන ඇමරිකානු බෞද්ධ ප්‍රජාව, මහත් ශ්‍රද්ධාවෙන් යුතුව මෙම වන්දනාමාන කටයුතු හා සම්බන්ධ වෙමින් සිටින බව වාර්තා වේ.













