ජාත්‍යන්තර ගිනි භට දිනය (International Firefighters’ Day) නිමිත්තෙන් කොළඹ මහ නගර සභා ඉතිහාසයේ ප්‍රථම වතාවට සංවිධානය කරන ලද විශේෂ සැමරුම් උත්සවයක් අද කොළඹදී පැවැත්විණි. අන්‍යයන්ගේ ජීවිත සහ දේපළ ආරක්ෂා කිරීම වෙනුවෙන් දිවා රෑ නොබලා කැපවන ගිනි නිවන භටයන්ගේ සේවය අගය කිරීම මෙහි ප්‍රධාන අරමුණ විය.
මෙම සුවිශේෂී අවස්ථාවට කොළඹ මහ නගර සභාවේ උසස් නිලධාරීන් සහ ගිනි නිවන සේවා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් රැසක් සහභාගී වූහ. මෙහිදී සේවය ඉටු කිරීමේදී ජීවිතක්ෂයට පත් වූ සහ ආබාධිත වූ ගිනි නිවන භටයන් අනුස්මරණය කරමින් උපහාර පුද කළ අතර, දැනට සේවයේ නියුතු භට පිරිස් දිරිගැන්වීම සඳහා විවිධ වැඩසටහන් ද ක්‍රියාත්මක කරන ලදී.
කොළඹ නගරය වැනි අධික ජනගහනයක් සහ ගොඩනැගිලි පවතින කලාපයක ගිනි නිවන සේවාව ඉටු කරන කාර්යභාරය අතිශය තීරණාත්මක වන අතර, ඔවුන්ගේ වෘත්තීය අභිමානය ඉහළ නැංවීමට මෙවැනි සැමරුමක් මහ නගර සභා පරිශ්‍රයේදීම පැවැත්වීම වැදගත් සන්ධිස්ථානයක් ලෙස සැලකේ.














