ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර සෘජු මාර්ග සබඳතාවක් ඇති කරලීමේ කාලෝචිත අවශ්‍යතාව කොළඹදී පැවැති සම්මන්ත්‍රණයකදී ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා විසින් මතු කරන ලදී. දෙරට අතර පවතින ඓතිහාසික හා සංස්කෘතික සමීපත්වය හේතුවෙන් ඉන්දියාව සහ ශ්‍රී ලංකාව ‘ශිෂ්ටාචාරගත නිවුන් දරුවන්’ ලෙස ඔහු එහිදී අර්ථකථනය කළේය.
දෙරටේ භූගෝලීය පිහිටීම පිළිබඳව අදහස් දක්වමින් මහ කොමසාරිස්වරයා පෙන්වා දුන්නේ ඉන්දියාවේ රාමේශ්වරන් සහ ශ්‍රී ලංකාවේ තලේමන්නාරම අතර පවතින්නේ කිලෝමීටර් 30ක තරම් කෙටි දුරක් බවය. මෙතරම් සමීප දුරක් පැවතියද, මේ දක්වා ස්ථාවර පාලමක් හෝ විධිමත් යාත්‍රා සේවාවක් ස්ථාපිත වී නොමැති වීම විශාල අඩුවක් බව ඔහු සඳහන් කළේය.
දෙරට අතර සෘජු මහා මාර්ග සම්බන්ධතාවයක් ගොඩනැගීම දෙරටේම අනාගත සංවර්ධනයට හා ද්විපාර්ශ්වික සබඳතාවලට අතිශය වැදගත් වන බවත්, එම පාලම දෙරට එකිනෙකාට සම්බන්ධ කරන ප්‍රධාන සාධකය වනු ඇති බවත් සන්තෝෂ් ජා මහතා වැඩිදුරටත් අවධාරණය කර සිටියේය.














