තමිල්නාඩු ප්‍රාන්ත මහ මැතිවරණයෙන් විශිෂ්ට ජයග්‍රහණයක් අත්කරගත් සුපිරි නළු තලපති විජේගේ ‘තමිළග වෙට්ට්‍රි කසාගම්’ (TVK) පක්ෂය, රජයක් පිහිටුවීම සඳහා වන මූලික කටයුතු මේ වන විට ආරම්භ කර තිබේ. ඒ අනුව විජේ ඇතුළු පිරිස හෙට තමිල්නාඩු ආණ්ඩුකාරවරයා හමුවී රජයක් පිහිටුවීමට ඇති කැමැත්ත නිල වශයෙන් ප්‍රකාශ කිරීමට නියමිත අතර, අනිද්දා දින ඔහු මහ ඇමති ධුරයේ දිවුරුම් දෙනු ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
මෙවර මැතිවරණයේදී විජේගේ පක්ෂය ආසන 108ක් දිනා ගැනීමට සමත් වූ අතර, එය දශක ගණනාවක් තමිල්නාඩු දේශපාලනය හෙබවූ දැවැන්ත පක්ෂවල පසුබෑමට හේතු විය. වත්මන් ප්‍රධාන අමාත්‍ය එම්.කේ. ස්ටාලින්ගේ නායකත්වයෙන් යුත් DMK පක්ෂයට හිමිව ඇත්තේ ආසන 59ක් පමණි. එසේම භාරතීය ජනතා පක්ෂය සමඟ සන්ධානගත වූ AIADMK පක්ෂයට හිමිව ඇත්තේ ආසන 47ක් වැනි සුළු සංඛ්‍යාවකි.
පනස් වසරකට වැඩි කාලයක් තමිල්නාඩු දේශපාලනය පාලනය කළ ප්‍රධාන පක්ෂ අභිබවා නව දේශපාලන බලවේගයක් මතු වීම විශේෂත්වයකි. කෙසේ වෙතත්, තමිල්නාඩුවේ මෙම දේශපාලන පෙරළිය ශ්‍රී ලංකාව කෙරෙහි ඇති කරන බලපෑම ඉතා අවම මට්ටමක පවතිනු ඇති බව ජ්‍යෙෂ්ඨ ඉන්දීය මාධ්‍යවේදී පී.කේ. බාලචන්ද්‍රන් මහතා පෙන්වා දෙයි.














