අතරමඟ නතර වී තිබෙන පුරාවිද්‍යා ස්ථාන ප්‍රතිසංස්කරණ කටයුතු වත්මන් රජය යටතේ යළි ආරම්භ කිරීමට පියවර ගෙන ඇති බව බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු ඇමැති ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා ප්‍රකාශ කළේය.
ඇමරිකා එක්සත් ජනපදයේ නිල සංචාරයක නිරතව සිටින ඇමැතිවරයා, උතුරු අමෙරිකාවේ ප්‍රධාන අධිකරණ සංඝනායක කටුගස්තොට උපරතන නාහිමි බැහැදැක ආශීර්වාද ලබාගත් අවස්ථාවේදී මේ බව සඳහන් කර ඇත. මේරිලන්ඩ් ජාත්‍යන්තර බෞද්ධ විහාරස්ථානයේදී මෙම හමුව පැවැත්වුණු අතර, රටේ පුරාවිද්‍යා ස්ථාන ආරක්ෂා කර ගැනීමේ රජයේ වැඩපිළිවෙළ සම්බන්ධයෙන් මෙහිදී පුළුල්ව සාකච්ඡා කර තිබේ.
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සහ සංස්කෘතික ත්‍රිකෝණ අරමුදල ඒකාබද්ධව රිටිගල, දීඝවාපි සහ නෙළුගල යන පුරාවිද්‍යා ස්ථානවල ප්‍රතිසංස්කරණ කටයුතු මේ වන විටත් යළි ආරම්භ කර ඇත. දිට්වා සුළි කුණාටුව හේතුවෙන් ශ්‍රී ලංකාව පුරා පිහිටි පුරාවිද්‍යා ස්ථාන රැසකට හානි සිදුව ඇති අතර, කඩිනමින් ප්‍රතිසංස්කරණ කළ යුතු ස්ථාන මේ වන විටත් හඳුනාගෙන තිබේ.
මෙතෙක් ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ නොකළ ස්ථාන ප්‍රතිසංස්කරණය කිරීම සඳහා ප්‍රමාණවත් මූල්‍ය ප්‍රතිපාදන රජය සතුව පවතින බව ඇමැතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.














