පෞරාණික භාණ්ඩ අස්ථානගතවී තිබෙන බවට කරන ලද පැමිණිල්ලක් මත වසර 5ක පමණ කාලයක් වසා දමා තිබූ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨ පුරාවිද්‍යා අධ්‍යයනාංශයේ සෙනරත් පරණවිතාන අධ්‍යයන හා පර්යේෂණ කෞතුකාගාරය යළි විවෘත කර තිබේ.
වර්ෂ 1960දී මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතාගේ මූලිකත්වයෙන් සහ එවක පුරාවිද්‍යා අධ්‍යයනාංශයේ මහාචාර්ය පී.එල්. ප්‍රේමතිලක මහතාගේ සහයෝගය ඇතිව මෙම කෞතුකාගාරය විවෘත කරන ලදී. මෙම කෞතුකාගාරයේ භාණ්ඩ ලෙස්ලි ද සේරම් එකතුව, ඩී.ඊ. හෙට්ටිආරච්චි එකතුව සහ ඩබ්.එච්. බිඩිල් එකතුවෙන් සමන්විත වේ.
මෙම කෞතුකාගාරය තුළ ඉපැරණි බෞද්ධ හා හින්දු ප්‍රතිමා, වටාපත් මිට, පෑ තැටි, ලාම්පු, කරඬු, කඩු, පිහි, පන්හිඳ, මුද්‍රා, ඇත්දත් පනා, බුලත් මලු මෙන්ම රජ දවස භාවිත කළ කාසි ඇතුළු කෞතුක භාණ්ඩ රැසක් අඩංගුය. මෙහි ඇති තාරා දෙවඟනගේ මූර්තිය සුවිශේෂී කලා නිර්මාණයක් ලෙස සැලකේ.
මෙහි ඇති පෞරාණික වටිනාකමින් යුත් භාණ්ඩ අස්ථානගතව තිබෙන බවට කරන ලද පැමිණිල්ලක් මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් පරීක්ෂණයක් සිදුකරන ලද අතර, කිසිදු භාණ්ඩයක් අස්ථානගතවීමක් සිදුවී නොමැති බව විගණනයේදී තහවුරු විය.
කෞතුකාගාරය යළි විවෘත කිරීමේ අවස්ථාවට පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ටෙරන්ස් මදුජිත්, ශාස්ත්‍ර පීඨයේ පීඨාධිපති ආචාර්ය ප්‍රභාත් ඒකනායක, මහාචාර්ය රෝහිත දිසානායක සහ පුරාවිද්‍යා අධ්‍යයනාංශයේ අංශ ප්‍රධානි ආචාර්ය අරුණ රාජපක්ෂ යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.














