ව්‍යාපාරික වීසා බලපත්‍ර යටතේ මෙරටට පැමිණ මීගමුව ප්‍රදේශයේ නිවසක සැඟවී සිටි චීන ජාතිකයින් 37 දෙනෙකුගෙන් යුත් පිරිසක් ඉකුත් 04 වැනි දින රාත්‍රියේදී මෙරටින් පිටුවහල් කිරීමට ආගමන විගමන දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ. මෙම පිරිස අතර කාන්තාවන් 6 දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් 31 දෙනෙකු සිටින අතර, ඔවුන් චීන රජයට අත්‍යවශ්‍යව සිටි පිරිසක් බවට අනාවරණය වී ඇත.
ආගමන විගමන පාලක ජනරාල්වරයා වෙත ලැබුණු බුද්ධි තොරතුරක් මත මෙම වැටලීම සිදු කෙරුණු අතර, අත්අඩංගුවට ගත් පිරිස වැලිසර රැඳවුම් මධ්‍යස්ථානයේ රඳවා තැබීමට පියවර ගැනිණි. මේ පිළිබඳව ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශය සහ මෙරට චීන තානාපති කාර්යාලය දැනුවත් කිරීමෙන් අනතුරුව, එම පුද්ගලයින් රැගෙන යාම සඳහා චීන ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් 11 දෙනෙකු සහ වෛද්‍යවරයකුගෙන් සමන්විත කණ්ඩායමක් දිවයිනට පැමිණියහ.
පසුව පොලිස් විශේෂ කාර්ය බළකායේ දැඩි ආරක්ෂාව යටතේ කටුනායක ගුවන්තොටුපළ වෙත රැගෙන ආ මෙම පිරිස, චීනයේ කුංමිං නුවර බලා පිටත් වූ චයිනා ඊස්ටන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයකින් පිටුවහල් කරනු ලැබීය.















