මුදල් අමාත්‍යාංශයේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂ රංග නිශාන්ත රාජපක්ෂ මහතාගේ අභාවය සම්බන්ධයෙන් සමාජය නොමඟ යවන සුළු ප්‍රකාශයක් කිරීමේ චෝදනාව මත පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතාගෙන් ප්‍රකාශයක් ලබාගැනීමට පොලිසිය තීරණය කර තිබේ. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (05) පැවති මාධ්‍ය සාකච්ඡාවකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක උදය කුමාර වුට්ලර් මහතා මේ බව අනාවරණය කළේය.
මෙම මරණයට අදාළව කුලියාපිටිය අධිකරණයේ පැවැත්වෙන මරණ පරීක්ෂණය සඳහා ද ගම්මන්පිල මහතා කැඳවා සාක්ෂි ලබාගැනීමට පොලිසිය සැලසුම් කර ඇත. අධිකරණ ක්‍රියාවලිය නොමඟ යවන සහ විමර්ශනවලට බාධා වන අන්දමේ ප්‍රකාශ නිකුත් කිරීම නුසුදුසු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මෙහිදී අවධාරණය කළේය.
මියගිය සහකාර අධ්‍යක්ෂවරයාගේ මරණය සම්බන්ධයෙන් ඔහුගේ බිරිඳ විසින් මේ දක්වා කිසිදු සැකයක් හෝ පැමිණිල්ලක් ඉදිරිපත් කර නොමැති බවද පොලිසිය සඳහන් කරයි. කෙසේ වෙතත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) මඟින් විමර්ශන ආරම්භ කර ඇති අතර මියගිය පුද්ගලයා භාවිත කළ මෝටර් රථය, ජංගම දුරකථන, බැංකු කාඩ්පත් සහ ලිපිගොනු කිහිපයක් වැඩිදුර පරීක්ෂණ සඳහා පොලිස් භාරයට ගෙන තිබේ.














