රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව මහජන ප්‍රවාහන සේවය කාර්යක්ෂම කිරීමේ අරමුණින් මෙට්‍රෝ බස් රථ සඳහා සේවා සැපයුම් අංගන ඉදිකිරීමේ කටයුතු පසුගියදා ආරම්භ කරන ලදී. පොදු ප්‍රවාහනයේ වර්ධනීය පියවරක් ලෙස සැලකෙන මෙට්‍රෝ බස් ධාවනයට එක් කිරීමත් සමඟ එම බස් රථ සඳහා අවශ්‍ය සේවා සැපයුම් ස්ථාන පහක් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලංගම) ඩිපෝ මූලික කරගනිමින් ආරම්භ කිරීමට ප්‍රවාහන අමාත්‍යාංශය සැලසුම් කර තිබේ.
මෙම සැලසුම යටතේ සේවා සැපයුම් ස්ථාන 3ක් ඉදිකිරීමේ කටයුතු කඩවත, ජා-ඇල සහ රත්මලාන යන ශ්‍රී ලංගම ඩිපෝ භූමි තුළ පසුගියදා ආරම්භ කෙරුණි. රත්මලාන ඩිපෝවේ ඉදිවන නව සේවා සැපයුම් අංගනය සඳහා මුල්ගල තැබීම පාර්ලිමේන්තු මන්ත්‍රිනී සමන්මලී ගුණසිංහ මහත්මියගේ ප්‍රධානත්වයෙන් සිදු වූ බව වාර්තා වේ.














