චීනයේ පැවැති 6 වන ආසියානු වෙරළ ක්‍රීඩා තරගාවලියේදී මල්ලවපොර, කබඩි සහ දුර පැනීම යන ඉසව්වලින් පදක්කම් දිනාගත් ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇගයීමේ උත්සවයක් අද (06) දින ගුවන් හමුදා මූලස්ථානයේදී පැවැත්විණි. ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් බන්දු එදිරිසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම උත්සවයේදී ජයග්‍රහණය කළ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ගුවන් භට හා නායක ගුවන් භට තනතුරේ සිට කෝප්‍රල් තනතුර දක්වා උසස් කිරීමට පියවර ගත් අතර ඔවුන් වෙත විශේෂ මුදල් ත්‍යාග ද පිරිනමන ලදී. එමෙන්ම මෙම ජයග්‍රහණ සඳහා මඟ පෙන්වූ පුහුණුකරුවන් හට ද ගුවන් හමුදාපතිතුමා විසින් විශේෂ මුදල් ත්‍යාග පිරිනමනු ලැබීය. මෙහිදී මල්ලවපොර ඉසව්වෙන් රන් පදක්කම දිනූ කෝප්‍රල් නිපුනි වාසනා ධර්මදාස, කබඩි කාන්තා ඉසව්වෙන් රිදී පදක්කම් දිනූ කෝප්‍රල් හංසිකා බණ්ඩාර සහ කෝප්‍රල් ශානිකා බණ්ඩාර, කබඩි පිරිමි ඉසව්වෙන් ලෝකඩ පදක්කම දිනූ කෝප්‍රල් චමින්ද සමරකෝන් සහ දුර පැනීම කාන්තා ඉසව්වෙන් ලෝකඩ පදක්කම දිනූ කෝප්‍රල් ශෂිකලා ලංකාතිලක යන ක්‍රීඩක ක්‍රීඩිකාවෝ ඇගයීමට ලක්වූහ.














