ජාතික, ආගමික හෝ ශාසනික ගැටලුවලදී භික්ෂූන් වහන්සේලා තම පෞද්ගලික මත ප්‍රකාශ කිරීම හේතුවෙන් සමස්ත මහා සංඝරත්නයටම නින්දා අපහාස විඳීමට සිදුව ඇති බව පිරිවෙන් අධ්‍යක්ෂ මාදෝවිට වජිරබුද්ධි නාහිමියෝ පවසති. උන්වහන්සේ අවධාරණය කරන්නේ මෙවැනි කරුණු සම්බන්ධයෙන් මාධ්‍ය ප්‍රකාශ නිකුත් කිරීමේදී ත්‍රෛනිකායික මහා නායක හෝ අනුනායක හිමිවරුන්ගේ අවසරය ලබාගැනීම වඩාත් යහපත් බවයි.
මල්වතු අස්ගිරි මහා නාහිමිවරුන් බැහැදැක ආශිර්වාද ලබාගැනීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් උන්වහන්සේ කියා සිටියේ, භික්ෂූන් වහන්සේලාට ජාතික දේශපාලනය හැර පක්ෂ දේශපාලනය අකැප බවයි. මෙරට වෙහෙර විහාර 11,000ක් පදනම් කරගනිමින් ගම්මාන 11,000කට නිසි නායකත්වය ලබාදුන්නේ නම් රටේ සදාචාරාත්මක වර්ධනයක් ඇති වන බව උන්වහන්සේ පෙන්වා දුන්හ.
රජය භික්ෂු අධ්‍යාපනය වෙනුවෙන් විශාල වියදමක් දරන බවත්, භික්ෂූන් වහන්සේලා අතර පවතින බෙදීම් ශාසනික පරිහානියට මෙන්ම නින්දාවට හේතුවන බවත් උන්වහන්සේ සඳහන් කළහ. එමෙන්ම සියලු වැරදි රජය පිට පැටවීමට උත්සාහ නොකර, ශාසනභාරධාරී මහා තෙරවරුන්ගේ මඟපෙන්වීම යටතේ භික්ෂු සමාජය ස්වයං විනයකට යටත් විය යුතු බව මාදෝවිට වජිරබුද්ධි හිමියෝ වැඩිදුරටත් ප්‍රකාශ කළහ.














