විධායකය විසින් අධිකරණයේ ස්වාධීනත්වයට බලපෑම් කරන බවට චෝදනා කරමින්, ඒ පිළිබඳව කල් තැබීමේ විවාදයක් ඉල්ලා සමගි ජන බලවේගය (SJB) අද (6) කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා වෙත යෝජනාවක් භාර දී තිබේ. විපක්ෂ නායකවරයා ඇතුළු එම පක්ෂයේ මන්ත්‍රීවරුන් 35 දෙනෙකුගේ අත්සනින් යුතුව මෙම යෝජනාව කතානායක කාර්යාලයේදී භාර දෙන ලදී.
පසුගිය මැයි දින රැලියේදී ජනාධිපතිවරයා කළ ප්‍රකාශයක් මෙම විවාදය ඉල්ලා සිටීමට ප්‍රධාන හේතුව වී ඇත. එළඹෙන මැයි 25 වැනිදා විශේෂ නඩු තීන්දුවක් ප්‍රකාශයට පත්වන බැවින්, එය සැමරීමට සූදානම් වන ලෙස ජනාධිපතිවරයා එහිදී ජනතාවගෙන් ඉල්ලා තිබුණි. අධිකරණ තීන්දුවක් ලබා දීමටත් පෙර මෙලෙස ප්‍රකාශ කිරීම හරහා විධායකය අධිකරණයට බලපෑම් කරන බවට හෝ අතපෙවීම් සිදුකරන බවට සැකයක් ඇති වන බව සමගි ජන බලවේගය සිය ලිපිය මඟින් පෙන්වා දෙයි.
මෙම තත්ත්වය හෙළා දැකීම සහ ඒ පිළිබඳව පාර්ලිමේන්තුවේ අවධානය යොමු කිරීම මෙම යෝජනාවේ මූලික අරමුණයි.














