ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ එයාර්බස් යානා මිලදී ගැනීමේ අල්ලස් සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඩ් කර සිටි හිටපු ප්‍රධාන විධායක නිලධාරී (CEO) කපිල චන්ද්‍රසේන මහතාට ඇප තැබීම සඳහා පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. කෙසෙල්වත්ත පොලීසිය විසින් අත්අඩංගුවට ගත් මෙම සැකකරුවන් එළැඹෙන 13 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලහිරු සිල්වා මහතා නියෝග කළේය.
මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණේ සාංචි ආරච්චිවත්ත ප්‍රදේශයේ පදිංචි මොහොමඩ් රිස්වාන් සහ මොහොමඩ් ඉර්ෂාන් යන දෙදෙනායි. පොලීසිය අධිකරණයට ප්‍රකාශ කළේ මොවුන් කපිල චන්ද්‍රසේන මහතාව පෞද්ගලිකව හඳුනන්නේ නැති බවත්, රුපියල් 15,000 බැගින් වූ මුදලක් ලබාගෙන ‘කුලී ඇපකරුවන්’ ලෙස ඉදිරිපත් වී ඇති බවත්ය.
මෙම පුද්ගලයින් පිළිබඳව අධිකරණ කාර්ය මණ්ඩලයට ඇති වූ සැකය මත සිදුකළ පැමිණිල්ලකට අනුව අත්අඩංගුවට ගැනීම සිදු විය. සැකකරුවන්ට ස්ථිර රැකියාවක් නොමැති බව විමර්ශනවලදී හෙළි වී ඇති අතර, ඔවුන් ඇප තැබීම සඳහා ග්‍රාම නිලධාරී සහතික ලබාගත් ආකාරය පිළිබඳව ද විධිමත් පරීක්ෂණයක් පවත්වා වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.














