දමිළ සිනමාවේ සුපිරි නළු විජේයි අද චෙන්නායි නුවර ජවහර්ලාල් නේරු ක්‍රීඩාංගණයේදී තමිල්නාඩු ප්‍රාන්තයේ නව මහඇමැතිවරයා ලෙස දිවුරුම් දීමට නියමිත බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. දශක පහක් පුරා පක්ෂ දෙකක් අතර දෝලනය වූ තමිල්නාඩු දේශපාලන සංස්කෘතිය උඩුයටිකුරු කරමින් 51 හැවිරිදි විජේයි මෙම ඓතිහාසික ජයග්‍රහණය වාර්තා කර තිබේ. 1977 වසරේදී එම්.ජී.ආර්. ගෙන් පසු තමිල්නාඩුවේ මහඇමැති ධුරයට පත්වන දෙවන සිනමා නළුවා ලෙස ඔහු ඉතිහාසයට එක්වේ.
පසුගියදා පැවති ප්‍රාන්ත මැතිවරණයට ඔහුගේ ‘තමිලගා වෙට්‍රි කලගම්’ පක්ෂය තනිව ඉදිරිපත් වී ආසන 108ක් දිනා ගැනීමට සමත් විය. රජයක් පිහිටුවීමට අවශ්‍ය බහුතරය වන ආසන 118 සම්පූර්ණ කරගැනීම සඳහා ඉන්දීය කොංග්‍රසයේ මන්ත්‍රීවරුන් පස් දෙනෙකුගේ සහ තවත් සුළු පක්ෂ කිහිපයක සහාය ඔහුට හිමිවී ඇත. විජේයිගේ මෙම සුවිශේෂී දිවුරුම් දීමේ උත්සවයට සහභාගී වීම සඳහා ඉන්දීය කොංග්‍රස් නායක රාහුල් ගාන්ධි ද චෙන්නායි වෙත පැමිණීමට නියමිතය.
මෙවර මැතිවරණයේදී හිටපු මහඇමැති එම්.කේ. ස්ටාලින්ගේ පක්ෂය ප්‍රමුඛ සන්ධානයට ආසන 73ක් ද, විපක්ෂ නායක කේ. පලනිස්වාමිගේ පක්ෂය ප්‍රමුඛ සන්ධානයට ආසන 53ක් ද හිමිවී තිබේ. දමිළ ජනතාව අතර පවතින දැඩි ආකර්ෂණය සහ නව දේශපාලන වෙනසක් සඳහා වූ ජනතා අපේක්ෂාව විජේයිගේ මෙම විජයග්‍රහණයට මූලික හේතුව වී ඇති බව දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.














