ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර පවතින රාජ්‍යතාන්ත්‍රික සබඳතා තවදුරටත් ශක්තිමත් කරමින් වියට්නාම ජනාධිපති සහ එරට කොමියුනිස්ට් පක්ෂයේ මහලේකම් ටෝ ලාම් (To Lam) මහතා අද (07) ශ්‍රී ලංකාවට පැමිණේ. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ විශේෂ ආරාධනයකට අනුව සිදුවන මෙම සංචාරය, දෙරට අතර සබඳතාවල 55 වැනි සංවත්සරය සනිටුහන් කෙරෙන සුවිශේෂී අවස්ථාවක් ලෙස විදේශ කටයුතු අමාත්‍යාංශය හඳුන්වා දෙයි.
මෙම රාජ්‍ය සංචාරය අතරතුර දෙරටේ නායකයන් අතර ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිත අතර, එහිදී වෙළෙඳ, ආයෝජන සහ සංචාරක යන අංශ කෙරෙහි විශේෂ අවධානයක් යොමු කෙරේ. මීට අමතරව ‘ශ්‍රී ලංකා – වියට්නාම වෙළෙඳ, ආයෝජන සහ සංචාරක සංසදය’ ආරම්භ කිරීම ඇතුළු ඉහළ මට්ටමේ රාජ්‍ය තාන්ත්‍රික වැඩසටහන් කිහිපයකට ද වියට්නාම ජනාධිපතිවරයා එක්වනු ඇත.
ටෝ ලාම් මහතා සමඟ වියට්නාම රජයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන් සහ කොමියුනිස්ට් පක්ෂයේ ඉහළ පෙළේ නියෝජිත පිරිසක් ද මෙම සංචාරයට එක්ව සිටිති. විශේෂත්වයක් ලෙස, දිවයිනට පැමිණෙන වියට්නාම ජනාධිපතිවරයා හෙට (08) දින ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව ඇමතීමට ද නියමිතව තිබේ.














