ශ්‍රී ලංකාවේ ආදිවාසී ප්‍රජාවට අයත් රතුගල දානිගල පරපුරේ නායක දානිගල මහ බණ්ඩලාගේ සුදා වන්නිල ඇත්තෝ අභාවප්‍රාප්ත වී තිබේ. කාලයක සිට අසනීප තත්ත්වයෙන් පසු වූ ඒ මහතා වැලිසර ලය රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටියදී මෙලෙස අභාවප්‍රාප්ත වී ඇති බව වාර්තා වේ. මියයන විට ඒ මහතා 62 හැවිරිදි වියේ පසුවිය.
රතුගල ආදිවාසී ගම්මානයේ අනන්‍යතාවය සහ සංස්කෘතික උරුමයන් ආරක්ෂා කරගැනීම වෙනුවෙන් සුදා වන්නිල ඇත්තෝ වසර ගණනාවක් පුරා සුවිශේෂී මෙහෙවරක් ඉටු කළ නායකයෙකි. දානිගල පරපුරට නායකත්වය දෙමින් සිය ප්‍රජාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි ඔහු, දේශීය මෙන්ම විදේශීය පර්යේෂකයන් සහ සංචාරකයන් අතර ද ඉතා ජනප්‍රිය චරිතයක් විය.
ඔහුගේ අභාවය පිළිබඳව ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිල ඇත්තෝ ඇතුළු සමස්ත ආදිවාසී ප්‍රජාව සිය බලවත් ශෝකය පළ කර ඇත. දේහය පිළිබඳ අවසන් කටයුතු රතුගල ආදිවාසී ගම්මානයේදී පාරම්පරික චාරිත්‍රානුකූලව සිදු කිරීමට නියමිත බව පවුලේ ඥාතීහු පවසති.














