ගාසා තීරයේ අනාගතය සම්බන්ධයෙන් අමෙරිකානු මැදිහත්වීම මත පැවැත්වෙන සාකච්ඡාවල හමාස් සංවිධානයේ ප්‍රධාන සාකච්ඡාකරු වන කලීල් අල්-හයියාගේ (Khalil Al-Hayya) පුත්‍රයා ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් මියගොස් ඇති බව වාර්තා වේ. අසාම් අල්-හයියා (Azzam Al-Hayya) නමැති මොහු පසුගිය බදාදා රාත්‍රියේ එල්ල වූ ප්‍රහාරයකින් බරපතල තුවාල ලබා සිටියදී අද (07) මියගිය බව හමාස් සංවිධානය තහවුරු කළේය.
මෙම ප්‍රහාරය එල්ල වී ඇත්තේ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ “සාම මණ්ඩලය” (Board of Peace) හරහා ක්‍රියාත්මක වන ගාසා සාම සැලසුමේ දෙවන අදියර සම්බන්ධයෙන් කයිරෝ නුවරදී තීරණාත්මක සාකච්ඡා පැවැත්වෙන මොහොතකය. සිය පුත්‍රයාගේ මරණයට පෙර අල්-ජසීරා පුවත් සේවය අමතමින් කලීල් අල්-හයියා ප්‍රකාශ කර සිටියේ, ඊශ්‍රායලය මෙවැනි ප්‍රහාර එල්ල කිරීම හරහා සටන් විරාම ගිවිසුම් සහ මැදිහත්කරුවන්ගේ උත්සාහයන් කඩාකප්පල් කිරීමට උත්සාහ කරන බවයි.
පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේදී එකඟ වූ ට්‍රම්ප්ගේ සාම සැලසුමට අනුව ඊශ්‍රායල හමුදා ගාසා තීරයෙන් ඉවත් විය යුතු අතර හමාස් සංවිධානය සිය අවි ආයුධ බිම තැබිය යුතුය. කෙසේ වෙතත්, හමාස් සංවිධානය අවිහරණය කිරීම සම්බන්ධයෙන් දෙපාර්ශවය අතර තවමත් එකඟතාවයක් නොමැති අතර, සටන් විරාමයෙන් පසුව ද පවතින ගැටුම් හේතුවෙන් පලස්තීනුවන් 830 දෙනෙකු පමණ මියගොස් ඇති බව වාර්තා වේ.














