නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ අනුකාරක සභාවේ පස්වන සභාවාරය අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මියගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තු පරිශ්‍රයේදී පැවැත්වුණි. මෙහිදී නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල වත්මන් ප්‍රගතිය මෙන්ම ඉදිරි ප්‍රතිපත්ති සම්පාදනයට අදාළ තීරණාත්මක කරුණු රැසක් සාකච්ඡාවට බඳුන් විය. අමාත්‍යාංශ ලේකම් නාලක කළුවැව මහතා විසින් ඉදිරිපත් කරන ලද ප්‍රගති වාර්තාව මඟින් ගුරු පුහුණු වැඩසටහන්, මොඩියුල සම්පාදනය සහ පාසල්වල ඩිජිටල් යටිතල පහසුකම් සංවර්ධනය සම්බන්ධයෙන් පවතින සවිස්තරාත්මක දත්ත සභාවට ඉදිරිපත් කෙරිණි.
මෙහිදී අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරිය අවධාරණය කළේ පළමු ශ්‍රේණිය සඳහා දැනටමත් ආරම්භ කර ඇති ප්‍රතිසංස්කරණ අධීක්ෂණය කිරීමේ ක්‍රියාවලියට ගුරු උපදේශකවරුන් ද සක්‍රීයව සම්බන්ධ කරගත යුතු බවයි. එමෙන්ම ඩිජිටල් කාර්යසාධක බලකායේ නිර්දේශ අනුව පාසල් තුළ තාක්ෂණික උපාංග භාවිතය ඉහළ නැංවීමට කටයුතු කරන බවත්, සිසුන්ගේ දැනුම හා කුසලතා මැන බැලීමට නිශ්චිත විද්‍යාත්මක මිනුම් ක්‍රමවේදයක් අත්‍යවශ්‍ය බවත් ඇය පෙන්වා දුන්නාය. විෂයයන්ට අදාළ විශේෂඥ දැනුම ඇති පාර්ශවයන්ගේ සහය ලබාගනිමින් මොඩියුල සමාලෝචනය කිරීම වඩාත් ඵලදායී වන බව පෙන්වා දුන් අග්‍රාමාත්‍යවරිය, මෙම නව අධ්‍යාපන රටාවේ ප්‍රතිලාභ පිළිබඳව සමාජය දැනුවත් කිරීමේ වැඩසටහන් ඉදිරියේදී ආරම්භ කරන බව ද ප්‍රකාශ කළාය.
මෙම අවස්ථාවට අනුකාරක සභා මන්ත්‍රීවරුන් වන රෝහිණී කුමාරි විජේරත්න, ඥානමුත්තු ශ්‍රීනේෂන්, සුනිල් රාජපක්ෂ යන මහත්ම මහත්මීන් ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මෙන්ම ජාතික අධ්‍යාපන ආයතනයේ නිලධාරීන් පිරිසක් ද සහභාගී වී සිටියහ.














