ජාතික, ආගමික සහ ශාසනික වැදගත්කමකින් යුත් කරුණුවලදී ඇතැම් භික්ෂූන් වහන්සේලා ඉදිරිපත් කරන පෞද්ගලික මතවාද හේතුවෙන් සමස්ත සංඝ සමාජයටම නින්දා අපහාස විඳීමට සිදුව ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශයේ පිරිවෙන් අධ්‍යක්ෂ පූජ්‍ය මාදෝවිට වජිරබුද්ධි හිමියෝ පවසති. අධ්‍යක්ෂ ධුරයට පත්වීමෙන් පසු මල්වතු අස්ගිරි මහ නාහිමිවරුන් බැහැදැකීමට පැමිණි අවස්ථාවේදී උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළහ.
මෙරට 40,000කට අධික භික්ෂූන් පිරිසක් සහ විහාරස්ථාන 11,000ක් පවතින බව පෙන්වා දුන් වජිරබුද්ධි හිමියන්, භික්ෂූන් වහන්සේලා ප්‍රකාශ නිකුත් කිරීමේදී ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගේ උපදෙස් හා අවසරය මත පමණක් කටයුතු කිරීමේ වැදගත්කම අවධාරණය කළහ. භික්ෂුවකට ජාතික දේශපාලනය හැර පක්ෂ දේශපාලනයක් නොමැති බවත්, පෞද්ගලික අදහස් හේතුවෙන් සදාචාර සම්පන්න රටක් ගොඩනැගීමට වෙහෙසෙන සමස්ත භික්ෂු සංස්ථාවම අපවාදයට ලක් නොකළ යුතු බවත් උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කළහ.














