ශ්‍රී ලංකාවට ඉන්ධන සැපයීමට එකඟ වූ, ලියාපදිංචි නොවූ සැපයුම්කරුවෙකු වන ‘වෙරිජන්න්ටන් යූඒඊ’ (Verigenton UAE) සමාගම ඉන්ධන සැපයීම අතහැර දමා ඇති බව බලශක්ති, වරාය සහ ගුවන් සේවා අමාත්‍ය ආචාර්ය අනුර කරුණාතිලක මහතා පාර්ලිමේන්තුවේදී අද (07) ප්‍රකාශ කළේය. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
පසුගිය අප්‍රේල් මාසයේදී මෙම සිදුවීම සිදුව ඇති අතර, අදාළ සමාගම මුලින් එකඟ වූ කොන්දේසි උල්ලංඝනය කරමින් පෙර ගෙවීම් (Pre-payments) සිදුකරන ලෙස ඉල්ලා තිබේ. රජය එම ඉල්ලීම්වලට එකඟ නොවීම හේතුවෙන් ඔවුන් ඉන්ධන සැපයීමෙන් ඉවත් වී ඇති බවත්, මේ පිළිබඳව ඛනිජ තෙල් සංස්ථාව ඊමේල් පණිවිඩයක් මඟින් සිය දැඩි අප්‍රසාදය පළ කර ඇති බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.














