ශ්‍රී ලංකා පදනම් ආයතනය සිය ඉතිහාසයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, සේවක වැටුප් සඳහා රජයෙන් වෙන් කළ ප්‍රතිපාදනවලින් රුපියල් මිලියන 75ක මුදලක් යළි මහා භාණ්ඩාගාරය වෙත ලබා දීමට පියවර ගෙන තිබේ. 2025 අයවැය මගින් එම ආයතනයේ සේවක වැටුප් ගෙවීම වෙනුවෙන් රුපියල් මිලියන 135ක මුදලක් වෙන් කර තිබූ අතර, ඉන් රුපියල් මිලියන 75ක් මෙලෙස ආපසු භාණ්ඩාගාරය වෙත පිරිනැමීම ඊයේ (07) සිදු විය.
ආයතනයේ සභාපතිනී මහාචාර්ය සීතා බණ්ඩාර මහත්මිය විසින් මෙයට අදාළ චෙක්පත භාණ්ඩාගාර ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා වෙත නිල වශයෙන් භාර දෙන ලදී. රජය විසින් ලබා දුන් පුනරාවර්තන වියදම් මෙලෙස ඉතිරි කර යළි ලබා දීම ශ්‍රී ලංකා පදනම් ආයතන ඉතිහාසයේ වාර්තා වූ පළමු අවස්ථාව ලෙස සැලකේ.
පදනම් ආයතනය 2025 වසර තුළ රුපියල් මිලියන 416ක සමස්ත ආදායමක් උපයාගෙන තිබූ අතර, එහි වියදම දැක්වුණේ රුපියල් මිලියන 340ක් ලෙසයි. ඒ අනුව 2026 මාර්තු මස 26 වැනිදා පැවැති කළමනාකරණ මණ්ඩල රැස්වීමේදී ගත් තීරණයකට අනුව මෙම රුපියල් මිලියන 75ක මුදල රජය වෙත ලබා දීමට අනුමැතිය හිමි වූ බව සභාපතිනිය වැඩිදුරටත් සඳහන් කළාය. රාජ්‍ය ආයතනයක් ස්වයංපෝෂිත වෙමින් රජයට බරක් නොවී මෙවැනි මූල්‍ය විනයක් පෙන්වීම පැසසුමට ලක්විය යුතු කරුණකි.














