මෑතකදී අභාවප්‍රාප්ත වූ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතාගේ දේහය වැඩිදුර පරීක්ෂණ සහ පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා කොළඹ පොලිස් මෘත ශරීරාගාරය වෙත රැගෙන ගොස් තිබේ. කොල්ලුපිටිය පේදිරිස් පටුමග ප්‍රදේශයේ පිහිටි ඒ මහතාගේ නිවස තුළදී මෙම මරණය සිදුව ඇති අතර, මරණයට හේතුව මෙතෙක් නිල වශයෙන් අනාවරණය වී නොමැති වීම හේතුවෙන් පොලීසිය මේ වන විටත් විද්‍යාත්මක පරීක්ෂණ පවත්වමින් සිටියි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන පොලිස් කණ්ඩායම් නිවස පරීක්ෂා කිරීම සඳහා නිල සුනඛයන් ද යොදාගත් අතර, අධිකරණ වෛද්‍ය නිලධාරීන්ගේ සහ විශේෂ විමර්ශන ඒකකවල සහාය ද මේ සඳහා ලබාගෙන ඇත. විශේෂයෙන්ම ඔහුට එරෙහිව අධිකරණය විසින් වරෙන්තුවක් නිකුත් කර තිබූ පසුබිමක මෙම මරණය සිදුවීම හේතුවෙන්, මෙය සැකකටයුතු මරණයක් ලෙස සලකා විමර්ශන සිදු කරන ලෙස කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.
දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය ඉදිරි පැය කිහිපය තුළ සිදු කිරීමට නියමිත අතර, එහි වෛද්‍ය වාර්තාව මගින් මරණයට සෘජු හේතුව කුමක්ද යන්න අනාවරණය කර ගැනීමට අපේක්ෂා කෙරේ. එතෙක් මෘත ශරීරය පොලිස් ආරක්ෂාව යටතේ රඳවා තැබීමට බලධාරීන් පියවර ගෙන ඇත.














