ශ්‍රී ලංකාවේ දේශීය පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රය දැඩි මූල්‍ය අර්බුදයකට මුහුණ දී ඇති බව පුනර්ජනනීය බලශක්ති සංවර්ධකයින්ගේ සම්මේලනය (Federation of Renewable Energy Developers) අනතුරු අඟවයි. මතභේදාත්මක ගල් අඟුරු ටෙන්ඩර් ක්‍රියාවලිය හේතුවෙන් ඇති වූ විදුලි ජනන හිඟය පියවා ගැනීමට රජය අධික පිරිවැයක් දරා හදිසි තාප විදුලිය මිලදී ගැනීම මීට ප්‍රධාන හේතුව වී තිබේ. මේ හේතුවෙන් පුනර්ජනනීය බලශක්ති නිෂ්පාදකයන්ට ලැබිය යුතු රුපියල් බිලියන 10ක හිඟ මුදල් ගෙවීම රජය විසින් අත්හිටුවා ඇති බව ඊයේ කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී අනාවරණය විය.
පසුගිය 2025 දෙසැම්බර් මාසයේ සිට ජාතික පද්ධතියට සැපයූ පුනර්ජනනීය විදුලිය වෙනුවෙන් කිසිදු ගෙවීමක් සිදු කර නොමැති අතර, අප්‍රේල් මාසය වන විට එම හිඟ මුදල රුපියල් බිලියන 10ක් දක්වා ඉහළ ගොස් ඇත. වර්තමානයේ ජාතික විදුලි පද්ධතියට 14%ක දායකත්වයක් ලබා දෙන මෙම ක්ෂේත්‍රය තුළ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර 400කට ආසන්න ප්‍රමාණයක් කඩාවැටීමේ තර්ජනයට ලක්ව ඇති බව සම්මේලනයේ සභාපති මංජුල පෙරේරා මහතා ප්‍රකාශ කළේය. බාල ගල් අඟුරු භාවිතය නිසා නොරොච්චෝල බලාගාරයේ ඇති වූ බිඳවැටීම් හේතුවෙන් දිනකට මෙගාවොට් 100-150ක හිඟයක් පවතින අතර, එය පියවීමට ඒකකයකට රුපියල් 100කට වඩා වැය කරමින් තාප විදුලිය උත්පාදනය කිරීම නිසා භාණ්ඩාගාරයට මෙම මූල්‍ය බර දරාගත නොහැකි වී තිබේ.
මෙම ගෙවීම් පැහැර හැරීම නිසා ක්ෂේත්‍රයේ සේවය කරන දහස් සංඛ්‍යාත සේවකයන්ගේ වැටුප් ගෙවීමට පවා නොහැකි වී ඇති අතර, බැංකු ණය පියවීමට නොහැකි වීම නිසා බැංකු පද්ධතියට ද මෙහි බලපෑම එල්ල වී ඇත. රුපියල් 22-25ක් වැනි අඩු පිරිවැයකින් විදුලිය සපයන පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රය නොසලකා හරිමින්, අධික පිරිවැයක් දරන පොසිල ඉන්ධන බලාගාර සඳහා ප්‍රමුඛතාව ලබා දීම අසාධාරණ බව කර්මාන්තකරුවෝ පෙන්වා දෙති. මෙම අර්බුදයට විසඳුම් ලබා දීම සඳහා මුදල් අමාත්‍යාංශය සහ මහා භාණ්ඩාගාරය වහා මැදිහත් විය යුතු බවත්, හිඟ මුදල් ගෙවීමට කැබිනට් මණ්ඩලයේ සෘජු නියෝගයක් අවශ්‍ය බවත් ඔවුහු වැඩිදුරටත් අවධාරණය කරති.
















