ශ්‍රී ලාංකේය සුභාවිත ගීත කලාව පෝෂණය කිරීමෙහිලා සුවිශේෂී මෙහෙවරක් ඉටු කළ ප්‍රවීණ ගායන ශිල්පී දේවානන්ද වෛද්‍යසේකර මහතාගේ දශක නවයකට අධික කලා ජීවිතය ඇගයීමට ලක් කරමින් ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව විසින් සංවිධානය කළ “නීල නුවන්” ප්‍රණාම ප්‍රසංගය ඊයේ (07) ආනන්ද සමරකොන් මැදිරියේ දී උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සහ බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා මෙහි ප්‍රධාන ආරාධිත අමුත්තන් ලෙස සහභාගී වූහ. එහිදී දේවානන්ද වෛද්‍යසේකරයන් දේශීය සංගීතයට කළ මෙහෙවර අගයා විශේෂ සමරු ඵලක ප්‍රදානයක් ද සිදු කෙරිණි.
වෘත්තීය වෛද්‍යවරයෙකු ලෙස කටයුතු කරමින්ම ගීතය නමැති ඖෂධයෙන් රසික හදවත් සුවපත් කළ දේවානන්ද වෛද්‍යසේකරයන් ජාතික සම්පතක් බව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පෙන්වා දුන්නේය. ගුවන් විදුලියේ පැරණි සංස්කෘතික බලකණු ඇගයීමට ලක් කිරීමේ වැඩපිළිවෙළ යටතේ ඉදිරියේදී තවත් ප්‍රවීණ කලාකරුවන් උපහාරයට ලක් කරන බව අමාත්‍ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා මෙහිදී අවධාරණය කළේය.
ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සියවසක මෙහෙවර වෙනුවෙන් රචිත “සියවසක සිහනඳ” ග්‍රන්ථය ජනගත කිරීම ද සංස්ථාවේ සභාපති මහාචාර්ය උදිත ගයාශාන් ගුණසේකර මහතා අතින් මෙහිදී සිදු විය. ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය කෞෂල්‍යා ආරියරත්න මහත්මිය ඇතුළු කීර්ති පැස්කුවෙල්, සනත් ගුණතිළක වැනි ප්‍රවීණ කලාකරුවන් රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
“නීල නුවන් මානෙල් මල්”, “සතුට විලයි සැපත මලයි” වැනි අමරණීය ගීත රැසකින් රසික හදවත් දිනූ දේවානන්ද වෛද්‍යසේකර මහතා, හෙළ සිනමාවේ ස්වර්ණමය යුගයේ පසුබිම් ගායනයෙන් ද සුවිශේෂී දායකත්වයක් ලබා දුන් ජ්‍යෙෂ්ඨතම කලාකරුවෙකි.
















