ශ්‍රී ලංකාවේ රාජ්‍ය සංචාරයක නිරත වියට්නාම් සමාජවාදී ජනරජයේ ජනාධිපති ටෝ ලාම් (TO LAM) මහතා සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය අතර නිල ද්වීපාර්ශ්වික සාකච්ඡාවක් අද (08) පස්වරුවේ කොළඹදී පැවැත්විණි.
දෙරට අතර පවතින 56 වසරක රාජ්‍ය තාන්ත්‍රික සබඳතා තවදුරටත් ශක්තිමත් කරමින්, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ආරාධනය පිළිගෙන මෙරටට පැමිණීම පිළිබඳව අග්‍රාමාත්‍යවරිය මෙහිදී සිය කෘතඥතාව පළ කළාය. මෙම සංචාරය දෙරටේ සබඳතාවල නව සන්ධිස්ථානයක් වනු ඇති බව ද ඇය සඳහන් කළාය.
ආර්ථික, සංස්කෘතික සහ සමාජයීය සබඳතා ඇතුළු බහුවිධ හවුල්කාරිත්වය වර්ධනය කර ගැනීම සහ ජනතාවට අන්‍යෝන්‍ය ප්‍රතිලාභ හිමිවන අයුරින් එම සබඳතා විවිධාංගීකරණය කිරීමේ ක්‍රමෝපායන් පිළිබඳව මෙහිදී විශේෂ අවධානය යොමු විය.
ශ්‍රී ලංකා රජය නියෝජනය කරමින් පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි, නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ, අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රී සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කලුවැව යන මහත්වරුන් ඇතුළු ඉහළ පෙළේ නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.














