අම්පාර අධ්‍යාපන කලාපයට අයත් හුලංනුගේ ගම්මානයේ පිහිටි එකම සිංහල විදුහල උග්‍ර ගුරු හිඟය සහ භෞතික සම්පත් නොමැතිකම හේතුවෙන් වැසී යෑමේ තර්ජනයකට ලක්ව ඇති බව වාර්තා වේ.
ප්‍රධාන විෂයයන් වන ගණිතය සඳහා වසර පහක සිට ද, ඉංග්‍රීසි විෂය සඳහා වසර තුනක සිට ද ගුරුවරුන් නොමැති බව පාසල් සංවර්ධන කමිටුව පෙන්වා දෙයි. විද්‍යාව විෂය සඳහා පත්කළ ගුරුවරිය ද වෛද්‍ය හේතූන් මත අම්පාර ප්‍රදේශයේ පාසලකට අනුයුක්ත කර ඇති අතර, මේ හේතුවෙන් විශේෂයෙන් 9, 10 සහ 11 ශ්‍රේණිවල දරුවන්ගේ අධ්‍යාපනය දැඩි අවදානමකට ලක්ව තිබේ.
ආර්ථික අපහසුතා මධ්‍යයේ සියඹලාණ්ඩුව හෝ මොනරාගල වැනි නගරවලට ගොස් අමතර පන්ති සඳහා දරුවන් යැවීමට තමන්ට හැකියාවක් නොමැති බව දෙමාපියෝ පවසති. මීට අමතරව පාසල් ගොඩනැගිලි අබලන් වීම, වැසි කාලයට පන්ති කාමර තෙමීම, ඩෙස්-පුටු හිඟය සහ ආරක්ෂිත වැටක් නොමැති වීම වැනි ගැටලු රැසක් ද මෙහි පවතී.
මේ පිළිබඳව අදහස් දක්වමින් අම්පාර නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ අශෝක පතිරණ මහතා සඳහන් කළේ, කලාපය පුරා පවතින පොදු ගුරු හිඟය මධ්‍යයේ වුවද හුලංනුගේ පාසලට ගුරුවරුන් ලබාදීමට උත්සාහ කරන බවයි. එසේම සුළු අලුත්වැඩියා කටයුතු පාසල් පරිපාලනය මගින් සිදුකර ගත යුතු බව ද ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේය.
















