ශාරීරික දඬුවම් අවසන් කිරීමේ ජාත්‍යන්තර දිනය නිමිත්තෙන්, ශ්‍රී ලංකාවේ පාසල් පද්ධතිය තුළ දරුවන්ට එරෙහිව සිදුවන ශාරීරික දඬුවම් නීතියෙන් තහනම් කරන ලෙස ඉල්ලා දරුවන් දෙදෙනෙකු විසින් කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා සවිත්‍රි පෝල්රාජ් මහත්මිය වෙත විවෘත ලිපියක් යොමු කර තිබේ.
2026 වසරේ නිකුත් කරන ලද 11/2026 දරන අධ්‍යාපන අමාත්‍යාංශ චක්‍රලේඛය මගින් පාසල් තුළ ශාරීරික දඬුවම් තහනම් කිරීම පිළිබඳව දරුවන් සිය සතුට පළ කර ඇත. එහෙත්, පවතින නීතිමය හිඩැස් හේතුවෙන් චක්‍රලේඛ මගින් පමණක් දරුවන්ගේ ආරක්ෂාව තහවුරු කළ නොහැකි බවත්, ඒ සඳහා විධිමත් ලෙස නීතිය සංශෝධනය විය යුතු බවත් ඔවුහු පෙන්වා දෙති.
2024 වසරේ බොගෝටා නුවර පැවැති ගෝලීය අමාත්‍ය සමුළුවේදී ශ්‍රී ලංකාව ලබාදුන් පොරොන්දු අනුව 2025 වසර මැද වන විට ශාරීරික දඬුවම් තහනම් කිරීමට නීති සම්පාදනය කළ යුතුව තිබුණි. එසේම, ගුරුවරුන් සඳහා “ධනාත්මක විනය” (Positive Discipline) පිළිබඳ පුහුණුව ලබාදීම ද මෙහි තවත් ප්‍රධාන අංගයකි.
ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් 2025 අගෝස්තු මාසයේදී ශාරීරික දඬුවම් මහජන සෞඛ්‍ය පිළිබඳ බරපතළ ප්‍රමුඛතාවක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති බව සිහිපත් කරන දරුවන්, පවතින ප්‍රමාදය හේතුවෙන් තවදුරටත් පාසල් තුළ දරුවන් හිංසනයට පත්වීම වැළැක්වීමට කඩිනම් පියවර ගන්නා ලෙස අමාත්‍යවරියගෙන් ඉල්ලා සිටිති.
















