“ක්ලීන් ශ්‍රී ලංකා” (Clean Sri Lanka) ජාතික වැඩසටහනට සමගාමීව ඉදිකිරීම් සහ ගොඩනැගිලි අපද්‍රව්‍ය (C&D Waste) කළමනාකරණය සඳහා වූ සුවිශේෂී ප්‍රතිචක්‍රීකරණ මධ්‍යස්ථානයක් ඒකල කාර්මික ජනපදයේදී අද (08) විවෘත විය. නිවාස, ඉදිකිරීම් හා ජලසම්පාදන අමාත්‍යාංශය යටතේ පවතින රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව මගින් මෙම ව්‍යාපෘතිය මෙහෙයවනු ලබන අතර ඒ සඳහා රුපියල් මිලියන 350ක් වටිනා යන්ත්‍ර සූත්‍ර සහ භූමිය වෙන් කර තිබේ. ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය මගින් රුපියල් මිලියන 200ක ප්‍රතිපාදන වෙන් කර ඇති අතර ඉන් මිලියන 150ක් දැනටමත් නිදහස් කර ඇත.
මෙම මධ්‍යස්ථානය පැයකට මෙට්‍රික් ටොන් 200ක අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණය කිරීමේ ධාරිතාවයකින් යුක්ත වන අතර, මීට අමතරව නවීන විද්‍යාගාරයක් සහ පරිපාලන ගොඩනැගිල්ලක් ද මෙහි ස්ථාපිත කර තිබේ. බස්නාහිර පළාතෙන් පමණක් දිනකට එකතු වන ඉදිකිරීම් අපද්‍රව්‍ය ටොන් 300ක් පමණ අවිධිමත් ලෙස බැහැර කිරීම නිසා සිදුවන පාංශු හා ජල දූෂණය මෙන්ම ගංවතුර අවදානම අවම කිරීමට මෙමගින් අවස්ථාව සැලසේ.
සුන්බුන් සහ අපද්‍රව්‍ය නව තාක්ෂණය ඔස්සේ වටිනා අමුද්‍රව්‍ය බවට පත් කිරීම මගින් ස්වාභාවික සම්පත් ක්ෂය වීම පාලනය වන අතර ඉදිකිරීම් පිරිවැය ද සැලකිය යුතු ලෙස අඩු කර ගැනීමට හැකි වනු ඇත. මෙරට ඉදිකිරීම් ක්ෂේත්‍රයේ තිරසාර පාරිසරික පරිවර්තනයක් සඳහා තැබූ මෙම සුවිශේෂී පියවර “Clean Sri Lanka” වැඩසටහනේ ප්‍රමුඛ ජයග්‍රහණයක් ලෙස සැලකේ.














