අපරාධ හා ප්‍රචණ්ඩත්වයෙන් තොර සැමට බියකින් තොරව ජීවත් විය හැකි සුරක්ෂිත පරිසරයක් ගොඩනැගීමේ රජයේ වැඩපිළිවෙළ යටතේ සහස්පුර නව පොලිස් ස්ථානය ඊයේ දින නිල වශයෙන් ජනතා අයිතියට පත් කෙරිණි. මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ අමාත්‍ය ආනන්ද විජේපාල මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම උත්සවයට නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා සහ පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් රැසක් සහභාගී වූහ.
ප්‍රදේශයේ නීතිය හා සාමය තහවුරු කරමින් මහජනතාවට වඩාත් කාර්යක්ෂම සහ සුහදශීලී සේවාවක් සැලසීම මෙම නව පොලිස් ස්ථානය පිහිටුවීමේ ප්‍රධාන අරමුණයි. නවීන තාක්ෂණය භාවිත කරමින් සහ ප්‍රජා පොලිස් සංකල්පය ඔස්සේ අපරාධ පාලනය කිරීමටත් ප්‍රදේශවාසීන්ට ඉතා පහසුවෙන් සහ කඩිනමින් පොලිස් සේවාවන් ලබා ගැනීමටත් මෙහිදී වැඩි ඉඩකඩක් වෙන් කර තිබේ.
සහස්පුර ප්‍රදේශයේ පවතින ජන ඝනත්වය සහ ආරක්ෂක අවශ්‍යතා සලකා බලමින් ඉදිකළ මෙම පොලිස් ස්ථානය හරහා අපරාධ මැඩලීමට මෙන්ම මත්ද්‍රව්‍ය නිවාරණ කටයුතු සඳහා ද විශේෂ අවධානයක් යොමු කිරීමට නියමිතය. මෙමඟින් සහස්පුර සහ අවට ප්‍රදේශවල වෙසෙන ජනතාවට වඩාත් නිදහස් හා සුරක්ෂිත වාතාවරණයක් නිර්මාණය වනු ඇතැයි බලධාරීහු විශ්වාසය පළ කරති.
















