සෝවියට් සංගමය නාසි ජර්මනිය පරාජය කිරීම සැමරීමේ විජයග්‍රාහී දිනය වෙනුවෙන් රුසියාව සහ යුක්‍රේනය අතර දින තුනක සටන් විරාමයක් ක්‍රියාත්මක කිරීමට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමත්ව තිබේ. දෙරටම එකිනෙකාට සටන් විරාම උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් චෝදනා එල්ල කරමින් සිටි පසුබිමක ට්‍රම්ප්ගේ මෙම පෞද්ගලික මැදිහත්වීම සිදුව ඇති අතර ඒ යටතේ සියලු යුදමය ක්‍රියාකාරකම් අත්හිටුවීමට මෙන්ම දෙරටේ සිරකරුවන් දහස බැගින් හුවමාරු කර ගැනීමට ද එකඟතාව පළ වී ඇත. යුක්‍රේන ජනාධිපති ව්ලොඩිමියර් සෙලෙන්ස්කි සහ රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් මෙම යෝජනාවට එකඟ වූ බව දැනටමත් තහවුරු කර තිබේ.
කෙසේ වෙතත් මෙම සටන් විරාම එකඟතාවට පෙර දෙපාර්ශ්වයම දැඩි ප්‍රහාර එල්ල කරගත් අතර මොස්කව් නගරයට එල්ල වූ ඩ්‍රෝන ප්‍රහාර හේතුවෙන් රුසියාවේ ප්‍රධාන නගරවල අන්තර්ජාල සේවා සීමා කිරීමට ද රුසියානු බලධාරීන් පියවර ගෙන තිබුණි. මෙවර රුසියාවේ විජයග්‍රාහී දින පෙළපාලිය සඳහා වසර විස්සකට පසු ප්‍රථම වතාවට යුද ටැංකි ඇතුළු බර අවි සහභාගී කර නොගැනීම විශේෂත්වයක් වන අතර රුසියානු අගනුවර පවතින්නේ දැඩි ආරක්ෂක විධිවිධාන මධ්‍යයේය. සටන් විරාමය ප්‍රකාශයට පත් වූ මුල් පැය කිහිපය තුළ ද ප්‍රහාර 140කට අධික සංඛ්‍යාවක් සිදුවූ බවට යුක්‍රේනය චෝදනා කරන අතර රුසියාව ද දේශසීමා ප්‍රහාර පිළිබඳව සිය විරෝධය පළ කර සිටියි.
මේ අතර යුක්‍රේනයේ චර්නොබිල් අන්තරායකර කලාපය තුළ දැවැන්ත ලැව්ගින්නක් පැතිර යමින් පවතින අතර දැඩි සුළං තත්ත්වය සහ යුද ගැටුම් හේතුවෙන් වළලා ඇති බිම් බෝම්බ නිසා ගින්න මැඩපැවැත්වීම අතිශය දුෂ්කර වී ඇතැයි වාර්තා වේ. යුරෝපා සංගමය ද රුසියාව සමඟ සාකච්ඡා ආරම්භ කිරීමට සූදානමින් සිටින බව ප්‍රකාශ කර ඇති අතර ට්‍රම්ප් පාලනය විසින් ගෙන ආ මෙම තාවකාලික සටන් විරාමය යුද්ධය නිමා කිරීමේ තීරණාත්මක හැරවුම් ලක්ෂයක් වනු ඇති දැයි මුළු ලෝකයේම අවධානය යොමු වී පවතී.
















