ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) පසුගිය සිකුරාදා නිකුත් කළ නිවේදනයකට අනුව, ස්පාඤ්ඤය බලා යාත්‍රා කරමින් තිබූ විනෝද චාරිකා නෞකාවක පුද්ගලයින් අට දෙනෙකු හැනටාවයිරස් (Hantavirus) රෝගයට ගොදුරු වී ඇති අතර ඉන් තිදෙනෙකු මේ වන විට ජීවිතක්ෂයට පත්ව තිබේ. පරීක්ෂණ මඟින් රෝගීන් හය දෙනෙකුට රෝගය වැළඳී ඇති බව තහවුරු වී ඇති අතර තවත් දෙදෙනෙකුට රෝගය වැළඳී ඇතැයි සැක කෙරේ. PCR පරීක්ෂණ මඟින් තහවුරු වී ඇත්තේ මෙය හැනටාවයිරස් කාණ්ඩයට අයත් ‘ඇන්ඩීස් වයිරසය’ (Andes virus) බවයි.
මැයි මස 02 වනදා මෙම රෝග ව්‍යාප්තිය වාර්තා වන විට නෞකාවේ මගීන් සහ කාර්ය මණ්ඩලය 147 දෙනෙකු සිට ඇති අතර, 34 දෙනෙකු ඊට පෙර නෞකාවෙන් බැස ගොස් තිබුණි. දැනට රෝගීන් සිව් දෙනෙකු දකුණු අප්‍රිකාව, නෙදර්ලන්තය සහ ස්විට්සර්ලන්තය යන රටවල රෝහල්ගත කර ඇති අතර, ජර්මනියෙන් වාර්තා වූ සැකකටයුතු රෝගියෙකුගේ පරීක්ෂණ වාර්තා සෘණාත්මක වී ඇත. නෞකාවේ සිටින ඇමරිකානු ජාතිකයින් 17 දෙනා වෛද්‍ය පහසුකම් සහිත විශේෂ ගුවන් යානයක් මඟින් නෙබ්‍රස්කා ප්‍රාන්තයේ ඔමාහා වෙත ගෙන්වා ගැනීමට ඇමරිකානු රෝග පාලනය හා වැළැක්වීමේ මධ්‍යස්ථානය (CDC) මේ වන විට සැලසුම් කරමින් සිටී.
ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙන්නේ නෞකාවේ මගීන්ට සහ කාර්ය මණ්ඩලයට රෝග අවදානම මධ්‍යස්ථ මට්ටමක පැවතුණද, ලෝක ජනගහනයට ඉන් එල්ල වන අවදානම ඉතා අඩු මට්ටමක පවතින බවයි. මෙම රෝග ව්‍යාප්තිය ආරම්භ වූ පළමු රෝගියා නෞකාවට ගොඩවීමට පෙර ආර්ජන්ටිනාවේ හෝ චිලී රාජ්‍යයේ සංචාරය කරමින් සිටියදී වයිරසය ආසාදනය වී ඇති බවට සැක කෙරෙන අතර පසුව නෞකාව තුළ එය ව්‍යාප්ත වී ඇති බව විශ්වාස කෙරේ. දැනට කේප් වර්ඩ් (Cabo Verde) දූපත්වලින් පිටත්ව ඇති මෙම නෞකාව ස්පාඤ්ඤයේ කැනරි දූපත් වෙත ළඟා වීමට නියමිතව ඇත.














