පොලිස්පතිවරයාගේ උපදෙස් මත අපරාධ සහ මත්ද්‍රව්‍ය නිවාරණය වෙනුවෙන් දිවයින පුරා ක්‍රියාත්මක කරන විශේෂ මෙහෙයුම් මාලාව යටතේ පුද්ගලයින් 540 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. දිවයිනේ සියලුම ප්‍රාදේශීය පොලිස් ස්ථාන ආවරණය වන පරිදි 2026 මැයි 08 වන දින සිදුකළ මෙම මෙහෙයුමේදී පුද්ගලයින් 27,615 දෙනෙකු පරීක්ෂාවට ලක් කර ඇති බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි. මෙහිදී අපරාධවලට සෘජුවම සම්බන්ධ පුද්ගලයින් 21 දෙනෙකු, දින වරෙන්තුකරුවන් 248 දෙනෙකු සහ විවෘත වරෙන්තු නිකුත් කර සිටි සැකකරුවන් 134 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත්ව ඇත.
මීට අමතරව මාර්ග විනය පවත්වා ගැනීම වෙනුවෙන් සිදුකළ මෙහෙයුම්වලදී බේමතින් රිය පැදවූ පුද්ගලයින් 76 දෙනෙකු සහ අපරික්ෂාකාරී ලෙස රිය පැදවූ පුද්ගලයින් 49 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. එහිදී සමස්ත රථවාහන වැරදි 4,146ක් වාර්තා වී ඇති බවත්, අපරාධකරුවන් මැඩලීම සඳහා මෙම විශේෂ මෙහෙයුම් ඉදිරියටත් දැඩි ලෙස ක්‍රියාත්මක කරන බවත් පොලිස් මාධ්‍ය කොට්ඨාසය වැඩිදුරටත් අවධාරණය කරයි.













