ශ්‍රී ලංකාවේ කන්කසන්තුරේ සිට ඉන්දියාවේ නාගපට්ටිනම් බලා ධාවනය වූ මගී ප්‍රවාහන නෞකාවක් කාර්මික දෝෂයකට ලක්ව ඊයේ රාත්‍රියේ පැය ගණනාවක් මුහුදේ අතරමං වී තිබේ. මගීන් 144 දෙනෙකු රැගත් මෙම නෞකාව පස්වරු 2.30ට කාංකේසන්තුරේ වරායෙන් පිටත්ව ඇති අතර පැය හතරකින් ගමනාන්තයට ළඟා වීමට නියමිතව තිබුණි. කෙසේ වෙතත් මුහුදේ පැවති රළු ස්වභාවය සහ එන්ජිමේ හටගත් හදිසි දෝෂයක් හේතුවෙන් නෞකාව නාගපට්ටිනම් වෙරළට නාවික සැතපුම් දෙකක් දුරින් නතර වී ඇති බව වාර්තා වේ.
ඉන්දීය බලධාරීන් සහ ප්‍රදේශයේ ධීවරයින් එක්ව සිදුකළ මෙහෙයුමකින් පසු නෞකාව සෙමින් වරාය වෙත ඇදගෙන ඒමට කටයුතු කර ඇති අතර ඒ වන විට රාත්‍රී 10.45 පමණ වී තිබුණි. මෙම අනතුරුදායක තත්ත්වය හමුවේ වුවද නෞකාවේ ගමන් කළ මගීන් සියලු දෙනාම ආරක්ෂිතව සිටින බව ඉන්දීය මාධ්‍ය වාර්තා තහවුරු කරයි.කන්කසන්තුරේ සහ නාගපට්ටිනම් අතර මගී නෞකා සේවාව පසුගියදා යළි ආරම්භ කෙරුණේ දෙරට අතර සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණ ඇතිවය.
මෙවැනි කාර්මික දෝෂයන් සහ මුහුදේ පවතින අයහපත් කාලගුණික තත්ත්වයන් මගී ප්‍රවාහන සේවාවලට විශාල අභියෝගයක් වී ඇති බව නාවික ක්ෂේත්‍රයේ ප්‍රවීණයෝ පවසති. මෙම සිදුවීමත් සමඟ නෞකාවල පවතින තාක්ෂණික තත්ත්වයන් සහ ආරක්ෂිත පියවර පිළිබඳව වැඩිදුර සොයා බැලීමේ අවශ්‍යතාව ද මතුව තිබේ. කෙසේ වෙතත් මගීන්ගේ ජීවිත ආරක්ෂා කර ගැනීමට හැකිවීම පිළිබඳව බලධාරීන් සිය සතුට පළ කර ඇත.













