ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතාගේ මරණය, ශ්‍රී ලංකාවේ දේශපාලනය හා බැඳුණු ව්‍යාපාරික සංස්කෘතියේ පවතින “අඳුරු පැත්ත” මනාව පෙන්නුම් කරන බව විපක්ෂ මන්ත්‍රී දිලිත් ජයවීර මහතා පවසයි. මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ, කපිල චන්ද්‍රසේන මහතා ශ්‍රී ලංකා ටෙලිකොම් සහ ශ්‍රීලන්කන් ගුවන් සමාගම මෙහෙයවූ දක්ෂ නිලධාරියෙකු වුවද, දූෂිත දේශපාලන ක්‍රමය තුළ ඔහු අවසානයේ තනි වූ බවයි. විශේෂයෙන්ම ඔහුට ඇප ලබාගැනීම සඳහා ව්‍යාජ ඇපකරුවන් ඉදිරිපත් කිරීමට සිදුවීමෙන් පෙනී යන්නේ ඔහු කෙතරම් දැඩි පීඩනයකට ලක්ව සිටියේද යන්න බවත්, ඔහුගෙන් විවිධ ප්‍රතිලාභ ලබාගත් කිසිවෙකුත් අවසානයේ ඔහු වෙනුවෙන් පෙනී සිටීමට ඉදිරිපත් නොවූ බවත් ජයවීර මහතා පෙන්වා දුන්නේය.
මෙම මරණය සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලා සිටින මන්ත්‍රීවරයා, මෙය මතුපිටින් සියදිවි නසා ගැනීමක් ලෙස පෙනුනද ඒ පිටුපස සැකකටයුතු කරුණු ඇති බව අවධාරණය කළේය. බාහිර සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ රංග රාජපක්ෂ මහතාගේ මරණය මෙන්ම මෙම මරණය ද සමාජය තුළ විශාල ආන්දෝලනයක් ඇති කර ඇති බවත්, පුද්ගලයෙකු වරදකරුවෙකු වීමට පෙර රක්ෂිත බන්ධනාගාරගත කිරීම දඬුවමක් ලෙස භාවිතා කිරීමේ වත්මන් ක්‍රමය පිළිබඳව තමන් දැඩි ලෙස කනස්සල්ලට පත්වන බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.














