දකුණු ආසියානු කලාපයේ යුදමය බලතුලනය සම්පූර්ණයෙන්ම වෙනස් කළ හැකි ආකාරයේ දැවැන්ත ආරක්ෂක ගනුදෙනුවකට පාකිස්ථානය සහ චීනය එළඹෙමින් සිටින බව වාර්තා වේ. ඒ අනුව චීනයේ නිෂ්පාදිත අතිනවීනතම HQ-19 මිසයිල නාශක පද්ධතිය ලබාගැනීම සඳහා පාකිස්ථානය අමෙරිකානු ඩොලර් බිලියන 12ක දැවැන්ත ආයෝජනයක් කිරීමට සූදානම් වන අතර මෙය නූතන දකුණු ආසියානු මිලිටරි ඉතිහාසයේ සිදුවන තීරණාත්මකම ආරක්ෂක ගනුදෙනුව ලෙස ආරක්ෂක විශ්ලේෂකයෝ හඳුන්වති. මෙම පද්ධතිය හරහා ඉන්දියාව සතු බ්‍රහ්මෝස් වැනි සුපර්සොනික් මිසයිල සහ අතිනවීන හයිපර්සොනික් යානා පවා අහසේදීම විනාශ කිරීමේ හැකියාව පාකිස්ථානයට හිමිවනු ඇත.
මීට අමතරව චීනයේ නිෂ්පාදිත J-35A ස්ටෙල්ත් ප්‍රහාරක යානා සහ KJ-500 පූර්ව අනතුරු ඇඟවීමේ ගුවන් යානා ද සිය ආරක්ෂක ව්‍යුහයට එක්කර ගැනීමට පාකිස්ථානය සැලසුම් කර තිබේ. 2025 ජුනි මාසයේදී ඉන්දියාව සහ පාකිස්ථානය අතර ඇති වූ සින්දූර් මෙහෙයුමට අදාළ ගැටුමේදී පාකිස්ථාන ගුවන් ආරක්ෂණ පද්ධතිවල දක්නට ලැබුණු දුර්වලතා මකා ගැනීම සඳහා අගමැති ෂෙබාස් ෂරීෆ්ගේ රජය මෙම තීරණය ගෙන ඇත. මෙම නව ආරක්ෂක පවුර නිර්මාණය කිරීම සඳහා චීනය සමඟ පවතින සාකච්ඡා මේ වන විට ඉතා වේගවත් කර ඇති බව ද වාර්තා වේ.
මෙම ගනුදෙනුව හරහා ඉන්දියන් සාගර කලාපය තුළ චීනයේ ආරක්ෂක සහ නිරීක්ෂණ බලය තවදුරටත් ව්‍යාප්ත වන අතර එය ඉන්දියාවේ ගුවන් ආධිපත්‍යයට දැඩි අභියෝගයක් වනු ඇතැයි ඉන්දීය මිලිටරි සැලසුම්කරුවෝ විශ්වාස කරති. පාකිස්ථාන හමුදා නිලධාරීන් මේ වන විටත් චීනය තුළ මෙම පද්ධති ක්‍රියා කරවන ආකාරය පිළිබඳ විශේෂ පුහුණුවක් ලබමින් සිටින බව ද වාර්තා වේ. කලාපීය භූ දේශපාලනික තත්ත්වයන් මත මෙම නව යුදමය සන්ධානය ඉදිරි වසර කිහිපය තුළ දකුණු ආසියාවේ ආරක්ෂක උපායමාර්ගයන්හි විශාල පෙරළියක් සිදු කරනු ඇත.












