සංවිධානාත්මක අපරාධකරුවකු වන මීටියාගොඩ රාජු නැමැත්තාට අයත් බව කියන ටී-56 ගිනි අවියකට යෙදිය හැකි මැගසිනයක් සහ ජීව උණ්ඩ 30ක් මීටියාගොඩ ප්‍රදේශයේ ඉඩමක වළ දමා තිබියදී සොයා ගැනීමට මීටියාගොඩ පොලිසිය සමත්ව තිබේ. හෙරොයින් ළඟ තබා ගැනීමේ වරදට පසුගියදා අත්අඩංගුවට ගත් මනික්කුවාදුර රුමේෂ් මදුශංක හෙවත් “රුකා” නැමැති 23 හැවිරිදි සැකකරුගෙන් කරන ලද දීර්ඝ ප්‍රශ්න කිරීම්වලදී මෙම තොරතුරු අනාවරණය වී ඇත. මීටියාගොඩ රාජුගේ උපදෙස් මත තමන් මෙම පතොරම් සහ මැගසිනය මහවත්ත ප්‍රදේශයේ ගසක් මුල වළ දැමූ බවට සැකකරු පොලිසිය හමුවේ පාපොච්චාරණය කර තිබේ.
අත්අඩංගුවට ගත් “රුකා” නැමැති සැකකරු මීට පෙර අම්බලන්ගොඩ ප්‍රදේශයේදී පුද්ගලයන් දෙදෙනෙකුට වෙඩි තැබීමේ සිද්ධියකට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් බන්ධනාගාරගතව සිට ඇප මත පැමිණි අයෙකු බව විමර්ශනවලදී හෙළි විය. කරන්දෙණිය සුද්දාගේ සහෝදරයා වන මීටියාගොඩ රාජු විසින් මෙම උණ්ඩ සැකකරුට ලබා දී ඇති බවට තොරතුරු ලැබී ඇතත්, දැනට කොළඹ මධ්‍යම අපරාධ කොට්ඨාසයේ රඳවා සිටින මීටියාගොඩ රාජුගෙන් ප්‍රශ්න කිරීමේදී ඔහු පවසා ඇත්තේ තමන් ඒ පිළිබඳව කිසිවක් නොදන්නා බවයි.
මීටියාගොඩ පොලිස් ස්ථානාධිපතිවරයාගේ උපදෙස් පරිදි අපරාධ අංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම වැටලීම සිදු කරන ලද අතර, සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු තවදුරටත් ක්‍රියාත්මක වේ. සංවිධානාත්මක අපරාධ ජාලයන් මර්දනය කිරීමේ අරමුණින් පොලිසිය මෙම මෙහෙයුම් වේගවත් කර ඇත.














