යුක්රේන යුද්ධය අවසන් කිරීම සඳහා සාම ගිවිසුමක් ඇති කර ගැනීමට ඇමරිකා එක්සත් ජනපදය දැඩි උත්සාහයක නිරත වුවද, එවැනි එකඟතාවයකට පැමිණීම තවමත් ඉතා දුෂ්කර හා දීර්ඝ ක්‍රියාවලියක් බව රුසියාව පවසයි. රුසියානු රජයේ නිල මූලස්ථානය වන ක්‍රෙම්ලිනය අද ප්‍රකාශ කළේ මෙහි පවතින ගැටලු සහ කරුණු අතිශය සංකීර්ණ බැවින් කෙටි කලකින් ස්ථිර සාමයක් උදා කර ගැනීම අපහසු බවයි. ඇමරිකානු මැදිහත්වීම මත මැයි 9 වනදා සිට 11 වනදා දක්වා තෙදින සටන් විරාමයකට රුසියාව සහ යුක්රේනය එකඟ වී ඇති පසුබිමක ක්‍රෙම්ලිනය මෙම අදහස් පළ කර තිබේ.
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා මෙම තෙදින සටන් විරාමය තවදුරටත් දීර්ඝ කර ස්ථිර සාමයකට මග පාදා ගැනීමට බලාපොරොත්තු වන බව ප්‍රකාශ කර ඇතත්, රුසියාවේ ස්ථාවරය වී ඇත්තේ ඒ සඳහා තවත් බොහෝ කාලයක් ගතවනු ඇති බවයි. වසර ගණනාවක් පුරා ඇදී යන මෙම යුදමය වාතාවරණය සමනය කිරීම සඳහා ජාත්‍යන්තර මට්ටමින් විවිධ බලපෑම් එල්ල වෙමින් පවතින අතර, මෙම තාවකාලික සටන් විරාමය සාම සාකච්ඡා සඳහා කෙබඳු බලපෑමක් ඇති කරනු ඇත්දැයි ලෝක ප්‍රජාව දැඩි අවධානයෙන් පසුවේ.














