පරිසරය සුරැකීමේ අරමුණින් ක්‍රියාත්මක ‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහනට සමගාමීව වත්තල ප්‍රීතිපුර වෙරළ තීරය පිරිසිදු කිරීමේ විශේෂ ව්‍යාපෘතියක් සාර්ථකව පවත්වා තිබේ. වත්තල පොලිස් ස්ථානයේ මූලිකත්වයෙන් සංවිධානය වූ මෙම වැඩසටහන සඳහා කැලණිය පොලිස් කොට්ඨාසයට අයත් පොලිස් ස්ථාන කිහිපයක නිලධාරීන්ගේ සක්‍රිය දායකත්වය හිමිවිය. වෙරළ පද්ධතියේ සුන්දරත්වය හා පිරිසිදුකම ආරක්ෂා කරගනිමින් ප්ලාස්ටික් හා අනෙකුත් අපද්‍රව්‍ය ඉවත් කිරීම මෙහි ප්‍රධාන අරමුණ විය.
මෙම සත්කාරක සේවාව සඳහා පොලිස් නිලධාරීන්ට අමතරව ප්‍රදේශයේ පාසල් දරු දැරියන්, ගුරුවරුන්, විවිධ ස්වේච්ඡා සංවිධාන මෙන්ම ප්‍රදේශවාසීන් ද විශාල පිරිසක් එක්ව සිටීම සුවිශේෂී කරුණකි. වෙරළ තීරයේ ගොඩගැසී තිබූ අපද්‍රව්‍ය විධිමත් ලෙස වෙන් වෙන් වශයෙන් එක්රැස් කිරීමට කටයුතු කළ අතර, එහිදී සොයාගත් ප්‍රතිචක්‍රීකරණය කළ හැකි ද්‍රව්‍ය අදාළ අංශ වෙත යොමු කිරීමට ද පියවර ගැනිණි. මෙවැනි වැඩසටහන් හරහා වෙරළාශ්‍රිත පරිසර පද්ධතිය රැකගැනීමටත්, පොදු ජනතාව තුළ පාරිසරික වගකීම පිළිබඳ අවබෝධයක් ඇති කිරීමටත් අපේක්ෂා කෙරේ.














