ලෝක දේශපාලන හා යුදමය වාතාවරණය හමුවේ පොහොර මිල ඉහළ යෑමේ අවදානම පාලනය කිරීමට රජය වහා මැදිහත් වී ඇති බව කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පවසයි. රජය මැදිහත් නොවන්නට වෙළඳපොළේ පොහොර මිටියක මිල රුපියල් 25,000 දක්වා ඉහළ යාමට ඉඩ තිබූ බව පෙන්වා දුන් අමාත්‍යවරයා, දැනට ගොවිජන සේවා මධ්‍යස්ථාන හරහා පොහොර මිටියක් රුපියල් 9,900ක සහන මිලකට ලබා දීමට පියවර ගෙන ඇති බව සඳහන් කළේය. මීට පෙර පෞද්ගලික අංශය රුපියල් 16,000 සිට 18,000 දක්වා වූ අධික මිල ගණන්වලට පොහොර අලෙවි කර ඇති අතර, නව සහනය යටතේ එක් පොහොර මිටියක් වෙනුවෙන් රුපියල් 5,000කට වැඩි පිරිවැයක් රජය විසින් දරනු ලබයි.
පොහොර හිඟයක් පිළිබඳ පවතින සැකය බැහැර කරමින් අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ඩී.එස්.පී. (TSP) පොහොර අවශ්‍ය ප්‍රමාණයට වඩා ගබඩාවල පවතින බවයි. යුරියා පොහොර සම්බන්ධයෙන් ද පවතින තත්ත්වය පැහැදිලි කළ ඔහු, පසුගිය මාසයේදී මෙට්‍රික් ටොන් 25,000ක් රැගත් නැවක් සහ පසුගිය සතියේ තවත් මෙට්‍රික් ටොන් 25,000ක නැවක් පැමිණි බව හෙළි කළේය. ඒ අනුව යුරියා පොහොර සම්බන්ධයෙන් ද ඉදිරියේදී කිසිදු ගැටලුවක් මතු නොවන බවට ඔහු සහතික විය.
පසුගිය දිනවල දිස්ත්‍රික්ක කිහිපයක පෞද්ගලික වෙළඳසැල්වල යම් පොහොර හිඟයක් වාර්තා වුවද, එම තත්ත්වය මේ වන විට සම්පූර්ණයෙන්ම නිරාකරණය කර ඇති බව අමාත්‍යවරයා අවධාරණය කළේය. දැනට සෑම ගොවිජන සේවා මධ්‍යස්ථානයකම මෙන්ම විවෘත වෙළඳපොළේ ද ගොවීන්ට අවශ්‍ය පොහොර ප්‍රමාණවත් පරිදි පවතින බැවින් අනියත බියක් ඇති කර නොගන්නා ලෙස නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා වැඩිදුරටත් සඳහන් කළේය.














