ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාවේ තීරණයකට අනුව, 2026 මැයි 01 වන දින සිට මෝටර් රථ රක්ෂණ සහතික පත්‍ර වෙනුවට ඩිජිටල් මෝටර් රථ රක්ෂණ කාඩ්පත් (Digital Motor Insurance Cards) නිකුත් කිරීම ආරම්භ කර තිබේ. මෙම නව ඩිජිටල් ක්‍රමවේදය යටතේ රක්ෂණාවරණයේ වලංගුභාවය පරීක්ෂා කිරීම සඳහා ජාතික රක්ෂණ සත්‍යාපන පද්ධතිය (National Insurance Verification System) ද ක්‍රියාත්මක වේ.
නව ක්‍රමවේදයට අනුව රක්ෂණාවරණය ඩිජිටල් මෝටර් රථ රක්ෂණ කාඩ්පතක් ලෙස හෝ පාරිභෝගිකයාගේ ඉල්ලීම මත පමණක් නිකුත් කරන මුද්‍රිත සහතිකයක් ලෙස ලබාගත හැකිය. මීට අමතරව රක්ෂණ සමාගමේ ජංගම දුරකථන යෙදුම (App) හරහා ද රක්ෂණාවරණය ඉදිරිපත් කිරීමේ හැකියාව පවතී.
රක්ෂණයේ වලංගුභාවය නොමිලේ පරීක්ෂා කරගැනීම සඳහා ක්‍රම කිහිපයක් හඳුන්වා දී ඇත. ඒ අනුව *1338# අමතා වාහන අංකය හෝ සහතික අංකය ඇතුළත් කිරීමෙන් USSD සේවාව හරහා හෝ වාහන අංකය හෝ රක්ෂණ සහතික අංකය 1338 වෙත කෙටි පණිවිඩයක් (SMS) ලෙස යොමු කිරීමෙන් රක්ෂණයේ වත්මන් තත්ත්වය දැනගත හැක. එසේම 1338 අංකය අමතා පාරිභෝගික සේවය හරහා ද සත්‍යාපනය කරගත හැකිය.
වාහන අංකය ඇතුළත් කිරීමේදී අකුරු සහ ඉලක්කම් අතර කෙටි ඉරක් (-) යෙදිය යුතු අතර (උදා: WP-1234), කිසිදු හිස්තැනක් (Space) නොතැබිය යුතුය. පැරණි “ශ්‍රී” අංක සහිත වාහන සඳහා “SRI” ලෙස ඉංග්‍රීසි අකුරු භාවිතා කළ යුතු වේ. දැනට පවතින සාමාන්‍ය රක්ෂණ සහතික ඒවායේ වලංගු කාලය අවසන් වන තෙක් භාවිත කළ හැකි බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය වැඩිදුරටත් සඳහන් කරයි.














