මහා භාණ්ඩාගාරයට අයත් ඇමෙරිකානු ඩොලර් ලක්ෂ 25ක මුදලක් වංචනික ලෙස ලබාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් වන විමර්ශන මේ වන විට අතිශය තීරණාත්මක අදියරකට එළඹ තිබේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) විශේෂ අවධානය යොමු වී ඇත්තේ මෙම මූල්‍ය හුවමාරුව සිදු වූ කාලසීමාව තුළ ලැබී ඇති බවට සැක කෙරෙන අබිරහස් දුරකථන ඇමතුමක් පිළිබඳවයි. රජයේ ආරංචි මාර්ගවලට අනුව, අදාළ මුදල් ගනුදෙනුව සඳහා ඊමේල් පණිවුඩ හුවමාරු වෙමින් පවතින අතරතුර මෙම ඇමතුම ලැබී ඇති අතර, එය කුමන රටක සිට කවුරුන් විසින් ලබා දුන්නේද යන්න අනාවරණය කර ගැනීමට තාක්ෂණික විශ්ලේෂණයන් ක්‍රියාත්මක වේ. මූල්‍ය හා ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත මහතා ද පසුගියදා මෙම සැකසහිත ඇමතුම පිළිබඳව තහවුරු කළේය.
මේ අතර, දිවයිනේ විවිධ ස්ථානවලදී අත්අඩංගුවට ගත් විදේශිකයන් සහ මෙම මූල්‍ය කොල්ලයට සම්බන්ධ පරිගණක හැකරුන් අතර සබඳතාවක් පවතින්නේද යන්න පිළිබඳව ද පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර ඇත. පසුගිය මැයි 07 වැනිදා බොරලැස්ගමුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් විදේශිකයන් 30 දෙනෙකු සහ අප්‍රේල් 02 වැනිදා අත්අඩංගුවට ගත් විදේශිකයන් 152 දෙනෙකු සම්බන්ධයෙන් ද මෙහිදී අවධානය යොමු කෙරේ. වැලිසර අතරමැදි කඳවුරෙන් පැන විත් කුලී නිවාසවල රැඳී සිටිමින් අන්තර්ජාල මූල්‍ය ජාවාරම්වල නිරත වූ මෙම කණ්ඩායම් සහ භාණ්ඩාගාර මුදල් කොල්ලය අතර පවතින සෘජු හෝ වක්‍ර සබඳතා අනාවරණය කර ගැනීමට පොලිසිය මේ වන විට කටයුතු කරමින් සිටියි.














