මාලුවාට වතුර අවශ්‍ය වන්නා සේම දේශපාලනඥයින්ට මහජනතාව අත්‍යවශ්‍ය බවත්, තම ව්‍යාපාරය ඡන්ද කාලයට පමණක් විවෘත කර පසුව වසා දමන එකක් නොවන බවත් වෘත්තීය පුහුණු හා තෘතීය අධ්‍යාපන අමාත්‍ය නලින් හේවගේ මහතා පවසයි. ඊයේ (10) රාත්‍රියේ ගාල්ල, ඇත්තිලිගොඩ දකුණ කොට්ඨාස සභා රැස්වීම අමතමින් අමාත්‍යවරයා සඳහන් කළේ ඡන්දය දිනුවත් පැරදුණත් තමන් සැමදා ජනතාව සමඟ දේශපාලනය කරන බවයි.
වත්මන් විපක්ෂයේ ක්‍රියාකලාපය පිළිබඳව අදහස් දක්වමින් අමාත්‍යවරයා පවසා සිටියේ අද වන විට විපක්ෂය ඉතා අඳබාල දේශපාලනයක නිරත වන බවයි. ප්‍රතිපත්තිමය දේශපාලනයක නිරත නොවී අතට අහුවන ඕනෑම දෙයකින් ආණ්ඩුවට පහර දීමට විපක්ෂය උත්සාහ කරන බවත්, ඔවුන් පවසන බොරු ඉතා කෙටි කලකින් හෙළිවීම නිසා විපක්ෂය අද අසරණ වී ඇති බවත් ඔහු කියා සිටියේය. රට තුළ නීතිය නිසි ලෙස ස්ථාපිත වී ඇති බැවින් විපක්ෂයේ අසරණභාවය පිළිබඳ තමන්ට අනුකම්පාවක් ඇති වන බව ද හේවගේ මහතා පැවසීය.
දේශපාලනඥයින් අත්අඩංගුවට ගැනීම් සම්බන්ධයෙන් සහ ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ආණ්ඩුවට සම්බන්ධ කරගැනීම පිළිබඳව නැඟුණු ප්‍රශ්නවලට ද අමාත්‍යවරයා මෙහිදී ප්‍රතිචාර දක්වන ලදී. එමෙන්ම ඕනෑම දේශපාලන තීන්දුවක් මහජනතාව සහ දේශපාලනඥයින් එක්ව ගන්නා පොදු ව්‍යාපාරයක් ලෙස ක්‍රියාත්මක විය යුතු බව ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.














