රාජපක්ෂ පවුලේ පාලන සමය තුළ සිදුවූ දූෂණ වංචා සහ අපරාධ සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරන බවට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කළ ප්‍රකාශවලට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා දක්වන ප්‍රතිචාරය හාස්‍යජනක බව ශ්‍රී ලංකා කම්කරු ජනතා පෙරමුණ පවසයි. හැටන් නගරයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී එම පෙරමුණේ සභාපති චමීර පෙරේරා මහතා සඳහන් කළේ, රාජපක්ෂවරුන්ගේ නඩු පිළිබඳ කතා කරද්දී විපක්ෂ නායකවරයා පාර්ලිමේන්තුවේ “හඬා වැටීම” පුදුමයට කරුණක් බවයි. පසුගිය මැයි දිනයේදී ජනාධිපතිවරයා කළ ප්‍රකාශ විපක්ෂය හිතාමතා විකෘති කරමින් ජනතාව නොමඟ යැවීමට උත්සාහ කරන බවත්, මෙලෙස “බබාකරණය” වී ඇති විපක්ෂය දැනගත යුතු ප්‍රධාන කරුණ වන්නේ රටේ ජනතාව බබාලා නොවන බවත් ඔහු අවධාරණය කළේය.
රාජපක්ෂ පාලන සමයේ සිදුවූ වංචා, දූෂණ, අතුරුදහන් කිරීම් මෙන්ම පාස්කු ප්‍රහාරය වැනි ම්ලේච්ඡ අපරාධ පිළිබඳව ජනතාවට තවමත් මතකයක් ඇති බවත්, ඒ පිළිබඳ යුක්තිය ඉටු කිරීම රජයේ වගකීමක් මිස අධිකරණයට බලපෑම් කිරීමක් නොවන බවත් සභාපතිවරයා පෙන්වා දුන්නේය. අතීතයේ මෙන් නඩු යටගැසීම හෝ දූෂිත “ඩීල්” සංස්කෘතිය තවදුරටත් ක්‍රියාත්මක නොවිය යුතු බව පවසන චමීර පෙරේරා මහතා, ජාතික ජන බලවේගයට ජනවරමක් ලැබුණේ වැරදිකරුවන්ට දඬුවම් දී යුක්තිය පසිඳලීම සඳහා බව වැඩිදුරටත් කියා සිටියේය.














