කොත්මලේ, ගැරඬිඇල්ල ප්‍රදේශයේදී සිදුවූ මාරක බස් අනතුරට අද (11) දිනට වසරක් පිරීම නිමිත්තෙන්, මියගිය අයට පින් පැමිණවීම සහ තුවාල ලැබූවන්ට සෙත් පැතීම වෙනුවෙන් අනතුර සිදුවූ ස්ථානයේදී සර්ව ආගමික වතාවත් පවත්වා තිබේ. කොත්මලේ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දික ලලිත් මහතා ඇතුළු නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් එක්ව මෙම වැඩසටහන සංවිධානය කර තිබුණි.
මහා සංඝරත්නය එම ස්ථානයට වඩම්මවා පිරිත් සජ්ඣායනා කර මියගිය පිරිසට පින් අනුමෝදන් කළ අතර, අන්‍යාගමික පූජකවරුන් ද එම ස්ථානයට කැඳවා ආගමික වතාවත් සිදු කරන ලදී. මෙම අවස්ථාවට කොත්මලේ ප්‍රාදේශීය ලේකම්වරයා, පොලිස් නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් විශාල පිරිසක් සහභාගී වී සිටියහ.
2025 වසරේ මැයි මස 11 වැනිදා අලුයම කතරගම සිට නුවරඑළිය හරහා කුරුණෑගල දක්වා ධාවනය වූ ලංගම බස් රථයක් කොත්මලේ ගැරඬිඇල්ල ප්‍රදේශයේදී අඩි 100ක පමණ ප්‍රපාතයකට පෙරළීමෙන් මෙම බිහිසුණු අනතුර සිදුවිය. එහිදී බස් රථයේ රියදුරු ඇතුළුව පුද්ගලයන් 24 දෙනෙකු ජීවිතක්ෂයට පත් වූ අතර තවත් 40 දෙනෙකු පමණ බරපතල තුවාල ලැබූහ.














