‘වාරි මහිම අපේ උරුමය’ ජාතික වැඩසටහනට සමගාමීව, ‘දිට්වා’ ආපදාවෙන් විනාශයට පත්වූ ලෝක උරුම ඇළහැර අමුණ ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු ඊයේ (10) නිල වශයෙන් ආරම්භ කෙරුණු අතර ඒ සඳහා රුපියල් මිලියන 309ක මුදලක් ඇස්තමේන්තු කර තිබේ. මෙම අවස්ථාවට එක්වූ කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා ප්‍රකාශ කළේ යල කන්නයට අවශ්‍ය පොහොර මේ වන විටත් මෙරටට ගෙන්වා අවසන් කර ඇති බැවින් ගොවීන්ට කිසිදු හිඟයකින් තොරව පොහොර ලබාගත හැකි බවයි. අස්වැන්න එකවර වෙළඳපොළට ඒම නිසා සිදුවන මිල පහත වැටීම වැළැක්වීමට ගොවීන්ටම වී වේලා ගැනීමට අවශ්‍ය තාක්ෂණය සහ රජයේ ප්‍රමිතිගත ගබඩා පහසුකම් ලබාදීමේ නව වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව ද ඔහු මෙහිදී අනාවරණය කළේය. එමෙන්ම වී වගාවට පමණක් සීමා නොවී සත්ත්ව පාලනය වැනි අතිරේක ආදායම් මාර්ග කෙරෙහි යොමුවන ලෙසත්, රජය විසින් පහළ ජන කණ්ඩායම්වල ආදායම් මාර්ග ශක්තිමත් කරමින් ආර්ථිකය සක්‍රීය කිරීමට පියවර ගනිමින් සිටින බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.














