නේපාලයේ කාත්මණ්ඩු අගනුවර පිහිටි ගුවන් තොටුපළට ගොඩබස්වන ලද ටර්කිෂ් එයාර්ලයින්ස් (Turkish Airlines) සමාගමට අයත් යානයක පසුපස රෝදයක ගින්නක් හටගෙන ඇති අතර ඒ හේතුවෙන් ගුවන් තොටුපළේ කටයුතු පැයක පමණ කාලයක් අත්හිටුවීමට බලධාරීන් පියවර ගෙන තිබේ. තුර්කියේ ඉස්තාන්බුල් නුවර සිට පැමිණි මෙම එයාබස් A330 වර්ගයේ යානයේ ගමන් ගත් මගීන් 277 දෙනා සහ කාර්ය මණ්ඩලයේ 11 දෙනා හදිසි පිටවීමේ ද්වාර හරහා වහාම ඉවත් කිරීමට කටයුතු කළ අතර අනතුරින් කිසිවෙකුටත් තුවාල සිදුවී නොමැති බව නේපාල සිවිල් ගුවන් සේවා අධිකාරිය තහවුරු කරයි. යානය ගොඩබස්වා ධාවන පථය ඔස්සේ ගමන් කරමින් සිටියදී යානයේ හයිඩ්‍රොලික් නළයක ඇති වූ කාර්මික දෝෂයක් හේතුවෙන් මෙම දුමාරය සහ ගින්න හටගෙන ඇති බව මූලික පරීක්ෂණවලදී අනාවරණය වී ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර තාක්ෂණික පරීක්ෂණ ආරම්භ කර තිබේ.














