දින කිහිපයක සිට ඇද හැලෙන තද වැසි හේතුවෙන් ඇළ දොළ සහ වැව් පිටාර ගැලීම නිසා ගලේවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ග්‍රාම සේවා වසම් 14ක පවුල් රැසක් අවතැන්ව ඇති බව වාර්තා වේ. වර්ෂාවත් සමඟ ඇති වූ හදිසි ගංවතුර තත්ත්වය හේතුවෙන් මාර්ග සහ නිවාස හරහා අඩි 3ත් 5ත් අතර උසකට ජලය ගලා ගොස් ඇති අතර, වැඩිම හානිය සිදුව ඇත්තේ ගලේවෙල නගරය ආසන්නයේ පිහිටි පට්ටිවෙල සහ ලකීවත්ත යන ප්‍රදේශවලටයි.
ජලය නිවෙස් තුළට කඩා වැදීම නිසා ගෘහ භාණ්ඩ, විදුලි උපකරණ සහ යාන වාහන රැසකට දැඩි හානි සිදුව ඇති අතර, ජීවිත බේරා ගැනීම සඳහා පදිංචිකරුවන්ට සිය නිවෙස්වලින් ඉවත් වීමට සිදුව ඇත. අවතැන් වූ පිරිස් මේ වන විට ප්‍රදේශයේ දේවස්ථානයක සහ ආරක්ෂිත ස්ථානවල රඳවා සිටින අතර, ගලේවෙල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන් ඔවුන්ට අවශ්‍ය සහන සැලසීමට කටයුතු කරමින් සිටී. ප්‍රදේශයේ කුඹුරු යායවල් සහ මාර්ග පවා තවමත් ජලයෙන් යටව පවතින බව ප්‍රාදේශීය වාර්තාකරුවන් පෙන්වා දෙයි.














