මල්වානේ පිහිටි ප්‍රකට මන්දිරයටත් වඩා විශාල සුපිරි මන්දිරයක් කඩවත ප්‍රදේශයේ පවතින බවත්, එය මේ වන විටත් පොලිස් ආරක්ෂාව යටතේ පවතින බවත් නව ජනතා පෙරමුණේ නායක සුගීෂ්වර බණ්ඩාර මහතා පවසයි. මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඒ මහතා කියා සිටියේ, සාමාන්‍ය ඇමතිවරයෙකුට වඩා බලවත්, රටේ ප්‍රධාන පුරවැසියෙකු ලෙස සැලකෙන “ඩබල් පොකට්” කමිස අඳින රජයේ ප්‍රබලයෙකු මෙහි හිමිකරු බවයි. මෙම මන්දිරයට අමතරව ඇමතිවරුන්ට අයත් මෙවැනි රහස් නිවාස තවත් 35ක් පමණ අනාවරණය කර ගැනීමට ඇති බව ද ඔහු සඳහන් කළේය.
පසුගිය කාලසීමාව තුළ බාල ගල් අඟුරු ගෙන්වීම, වැඩි මිලට තෙල් මිලදී ගැනීම සහ විවිධ කන්ටේනර් ජාවාරම් හරහා උපයා ගත් මංකොල්ලකෑ ධනය මෙවැනි මන්දිර ඉදිකිරීමට යොදවා ඇති බවට ඔහු චෝදනා කරයි. මෙම නිවාස සඳහා මුදල් සැපයූ ව්‍යාපාරිකයන් සහ ඔවුන් ලබාගත් වරප්‍රසාද පිළිබඳ සියලු තොරතුරු ඉදිරියේදී සාක්ෂි සහිතව රටට හෙළි කරන බව පැවසූ බණ්ඩාර මහතා, ඉතා ඉක්මනින් මෙම ස්ථාන වෙත ගොස් ඒවා මහජනයාට නිරාවරණය කිරීමට කටයුතු කරන බව ද වැඩිදුරටත් අවධාරණය කළේය.














