පවතින වැසි සහිත කාලගුණික තත්ත්වය මැයි 15 වනදායින් පසුව ක්‍රමිකව අඩු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවේ අනාවැකි අංශයේ අධ්‍යක්ෂ මෙරිල් මෙන්ඩිස් මහතා පවසයි. ඉදිරි දින දෙකක කාලය තුළ දැනට පවතින වැසි තත්ත්වය එලෙසම පවතින අතර, පවතින අඩු පීඩන කලාපය උතුරු දෙසට ගමන් කිරීමත් සමඟ නිරිත දිග සුළං ප්‍රවාහයේ බලපෑම ඇති විය හැකි බව ඔහු පෙන්වා දෙයි. මැයි මාසය අවසානය වන විට නිරිත දිග මෝසම් තත්ත්වය ක්‍රමයෙන් සක්‍රීය වනු ඇති අතර, ජුනි මස මුලදී බස්නාහිර, සබරගමුව, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලට උදෑසන කාලයේ වැඩි වැසි තත්ත්වයක් අපේක්ෂා කළ හැකි බව ද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
මේ අතර වාරිමාර්ග අධ්‍යක්ෂ ලසන්ත සූරියබණ්ඩාර මහතා ප්‍රකාශ කළේ පවතින වර්ෂාව හේතුවෙන් මෙරට ප්‍රධාන ජලාශවලින් 65%ක් පමණ මේ වන විට පිරී පවතින බවයි. ප්‍රධාන ජලාශ 12ක් සහ මධ්‍යම ප්‍රමාණයේ ජලාශ 6ක් මේ වන විටත් වාන් දමමින් පවතින අතර, වෙහෙරගල ජලාශය වාන් දැමීම හේතුවෙන් මැණික් ගඟ පරිහරණය කරන ජනතාව සහ කතරගම වන්දනාවේ පැමිණෙන පිරිස් දැඩි අවධානයෙන් පසුවිය යුතු බව ඔහු අවධාරණය කළේය. පවතින තත්ත්වය හමුවේ ගංගා පිටාර නොගිය ද පහත් බිම් ක්ෂණිකව යටවීමේ අවදානමක් පවතින බැවින් ජනතාව නිරන්තර අවධානයෙන් පසුවීම වැදගත් වේ.














