බලංගොඩ, රත්මලවින්න තුරුදෙණිය ප්‍රදේශයේ වසර පනහකට වඩා පැරණි, අභාවයට යමින් තිබූ පොදු නාන ළිඳක් සිය පෞද්ගලික මැදිහත්වීමෙන් ප්‍රතිසංස්කරණය කළ පාසල් ශිෂ්‍යාවක පිළිබඳව පුවතක් වාර්තා වේ. බලංගොඩ ශාන්ත ඇග්නස් බාලිකා විද්‍යාලයේ 12 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන ජ්‍යෙෂ්ඨ බාල දක්ෂිකා මෙත්මි මහේෂ්‍යා රාජපක්ෂ සිසුවිය මෙම සත්කාර්යය සිදුකර තිබේ.
නියං කාලවලදී පවා ජලය නොසිඳෙන මෙම ළිඳ ප්‍රදේශවාසීන් මෙන්ම දුර බැහැර ජනතාවද ස්නානය සඳහා බහුලව භාවිත කරන්නකි. එහෙත් නිසි නඩත්තුවක් නොමැතිව ගරා වැටී තිබූ ළිඳ, සිය ප්‍රජා සේවා ව්‍යාපෘතියක් ලෙස තෝරාගත් මෙත්මි සිසුවිය, තුරුදෙණිය තිසරණ සුබසාධක සංගමයේ ද සහයෝගය ඇතිව එය සම්පූර්ණයෙන්ම පිළිසකර කිරීමට කටයුතු කළාය.
ඇයගේ මෙම උදාර පියවර හේතුවෙන් ප්‍රදේශයේ ජනතාවට පැවති විශාල දුෂ්කරතාවක් මඟහැරී ඇති අතර, තාරුණ්‍යයේ වගකීම මැනවින් ඉටුකළ ඇය වෙත ගම්වාසීහු සිය කෘතවේදීත්වය පළ කරති.














